කෘෂි බෝග අපනයනය මගින් ඩොලර් මිලියන 36ක් උපයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

කෘෂි බෝග අපනයනය මගින් ඩොලර් මිලියන 36ක් උපයයි

කෘෂි  බෝග අපනයනය මගින් ඩොලර් මිලියන 36ක් උපයයි

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර ඇති වගා ව්‍යාපෘති මගින් නිපදවන බෝග විශාල ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි.

 

 

ගර්කින්, ඇඹුල් කෙසෙල්, අඹ, අන්නාසි, ගස්ලබු, මුරුංගා පත්‍ර, ජම්බෝ පීනට්ස් යනාදිය ඒ අතර වෙයි.

 

 

2022 වසරේ මෙම ව්‍යාපෘති මගින් උපයා ඇති විදේශ විනිමය පිළිබඳ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉල්ලා සිටියේය.

 

 

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් පසුගිය වසරේ දී බෝග අපනයනය මගින් ඩොලර් මිලියන 36ක මුදලක් උපයා තිබෙන බව එම වාර්තාවට අනුව දැක්වෙයි.

 

 

රාජාංගනයේ හා යාපනයේ ඇඹුල් කෙසෙල් සහ වාකරේ වගා කරනු ලබන Green Cucumber හෙවත් කොළ පිපිඤ්ඤා මෙම අපනයන බෝග අතරින් වඩාත්ම ජනප්‍රිය ව පවතියි.

 

 

කොළ පිපිඤ්ඤා  වගාවේ සම්පුර්ණ අස්වැන්න ජපානයට අපනයනය කරනු ලබයි.

 

 

වාකරේ වගා කරනු ලබන කොළ පිපිඤ්ඤා ජපානයේ බර්ගර් සඳහා වැඩිපුරම භාවිත කරන බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

 

 

රාජංගනය හා යාපනය ඇඹුල් කෙසෙල් වගා කළාප වන අතර එම වගා මධ්‍යස්ථානවල අපනයනය සඳහා සුදුසු වන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියට ඇඹුල් කෙසෙල් වගා කරනු ලබයි.

 

 

ඇඹුල් කෙසෙල් සඳහා ඩුබායි හැර තවත් රටවල් ගණනාවකින් විශාල ඉල්ලුමක් පැවතුනත් තවමත් අනෙකුත් රටවල්වල අවශ්‍යතාවය සඳහා අප රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවේ.

 

 

එම හේතුව නිසා රුපියල් මිලියන 150ක වියදමින් මෙම වසර තුළ ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශවල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් අක්කර 400ක වගා කළාප දෙකක්  හා කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

 

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් දුන්නේ කෙසෙල් වගා කළාපවල  නිෂ්පාදන සියල්ල අපනයනය ඉළක්ක කර නිසි ප්‍රමිතියට අනුව වගා කිරීමට සැලසුම් කරන ලෙසයි.

 

 

ඒ සඳහා අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් හා තාක්ෂණික පුහුණුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවි ජනතාවට සපයයි.

 

 

views

320 Views

Comments

arrow-up