ගෑස් 750කින්, සිමෙන්ති 50කින් සහ කිරිපිටි 250කින් ඉහළට

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අහෝසි කළ පසු ලබන සඳුදා සිට එම භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කිරීමට සමාගම් සූදානම් වෙයි.
මෙම භාණ්ඩ පාලන මිලෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් සිකුරාදා රාත්‍රියේ සිට පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අහෝසි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම් විශ්වාසය පළ කර සිටින්නේ. ගෑස් සඳහා පැවැති මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමටද සමාගම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එකඟත්වය පළ කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික්ටොන් එකක මිල ඇමෙරිකා ඩොලර් 796ක් දක්වා වැඩි වී ඇත. ඒ අනුව රුපියල් දහසකින්වත් ගෑස් මිල වැඩි කළ යුතු බව සමාගම් පෙන්වා දී ඇත. නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යෝජනා කර ඇත්තේ ගෑස් මිල රුපියල් පන්සිය පනහකින් වැඩි කළ යුතු බවයි.
කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් දෙසීයකින් වැඩි කිරීමට නියමිතය. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් කිරිපිටි සමාගම් අතර පැවැති සාකච්ඡාවකදී සමාගම් ප්‍රකාශ කර ඇත්තේ කිරිපිටි මිල රුපියල් තුන්සිය පනහකින් වැඩි කළ යුතු බවයි. කෙසේ වෙතත් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් දෙසීය පනහකින්වත් අවම වශයෙන් වැඩිකිරීමේ අවශ්‍යතාවක් පවතින බවද සමාගම් පෙන්වා දී තිබේ.
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් දහයකින් වැඩි කෙරෙන අතර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් පනහකින් වැඩි කිරීමට නියමිතය. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 97ක් වෙයි. සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1055ක් වෙයි.
1207 Views
Comments