“මට ප්‍රශ්නෙ තියෙන්නේ මහත්තයා එක්ක” - ගුවන් සමාගම් ප්‍රවාහන අධ්‍යක්ෂකගේ ඝාතනයේ සුලමුල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

“මට ප්‍රශ්නෙ තියෙන්නේ මහත්තයා එක්ක” - ගුවන් සමාගම් ප්‍රවාහන අධ්‍යක්ෂකගේ ඝාතනයේ සුලමුල

“මට ප්‍රශ්නෙ තියෙන්නේ මහත්තයා එක්ක” - ගුවන් සමාගම් ප්‍රවාහන අධ්‍යක්ෂකගේ ඝාතනයේ සුලමුල

ගෙවුණු මාස කිහිපය ධනපතියන්ට එතරම්ම හොඳ කාලයක් නොවීය. ඒ, දිගින් දිගටම මෙරට ධනපතියන්ගේ අබිරහස් ඝාතන වැලක්ම අහන්නට ලැබුණු නිසාය. මේ අබිරහස් ඝාතන ගොඩට එකතු වූ අලුත්ම කතාව පොලිස් පොතේ ලියැවෙන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙනි. දිනය අගෝස්තු තුන් වැනිදාය. ස්ථානය මිනුවන්ගොඩ පොලිස් වසමේ කොටුගොඩ, උඩුගම්පොළ පාරේ පිහිටි තාප්පවලින් වටවූ දෙමහල් නිවෙසකි. ඒ නිවෙසේ හිමිකරු වූයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂවරයකු වූ කේ. අනුර ප්‍රනාන්දුය. බිරිඳ සහ දියණියන් දෙදෙනා සමග ඔහු කොටුගොඩ නිවෙසේ ජීවත් විය.



අගෝස්තු තුන් වැනිදා උදෑසන අනුරගේ නිවෙසට අමුත්තියක ආවාය. ඇය ආවේ නිවෙසේ මෙහෙකාරකමටය. ඇය, අනුරගේ කන්තෝරුවේ සුළු සේවකයකුගේ බිරියයි. එදා උදේ 7.30ට පමණ අනුරගේ නිවෙසේ රස්සාව භාරගන්නට ඇය ආවාය. ඇය සාමාන්‍ය පරිදි එදින නිවෙසේ වැඩපළ කරගෙන සිටියාය. හවස් වරුව එළැඹෙද්දි අනුරගේ බිරිය හා දියණියන් දෙදෙනා පල්ලි යාමට පිටත් වුණේ මෙහෙකාර කාන්තාවත් අනුරත් නිවෙසේ තනිකරමිනි. ඔවුන් ගියේ සවස 4.45ට පමණය.

 

බිරිය හා දරු දෙදෙනා පිටව ගිය පසු අනුරට වුවමනා වුණේ දුම්වැටියක් මිලදී ගන්නට නිවෙස අසල වෙළෙඳසැලට යෑමටය. ඒ බව මෙහෙකාර කාන්තාවට පැවසූ ඔහු වෙළෙදසැල බලා පිටත් වූයේය. ඉතාමත් කාර්ය බහුල දිනයක් ගත කළ මෙහෙකාර කාන්තාව දහවල් ආහාරය ගන්නට සූදානම් වූයේ එවිටය. ඈ නිවෙස පිටුපස පිහිටි මුළුතැන්ගෙයි සිට ආහාර ගනිමින් සිටියාය.



සුදු පැහැති රෙදි කඩකින් මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙක් සැණෙකින් තාප්පයෙන් පැන ගෙතුළට දිව ආවේ මෙහෙකාර කාන්තාව බිය ගන්වමිනි. ඔහු අත තිබුණේ පිහියකි. ඔහු ඇයට කෑ නොගසන්නැයි තර්ජනය කළේය. ඒ තර්ජනයට බියවූ මෙහෙකාර කාන්තාව ඔහුගේ අණට යටත් වුණාය. ඔහු ඇයව ඇදගෙන ගියේ නිවෙසේ ඉහළ මහලටය. ඔහු වැකුම් ක්ලීනරයේ වයරයෙන් ඇගේ අත් පා බැඳ දැමුවේය. මරණ බය දැනුණු ඈ මරබියෙන් කෑ මොර දුන්නාය.



එවිට ඔහු කීවේ, “මට ප්‍රශ්නෙ තියෙන්නේ මහත්තයා එක්කයි. තෝ කටවහගෙන හිටපන්. උඹව මරන්නේ නෑ..” යනුවෙනි.



එසේ කියූ ඔහු මෙහෙකාර කාන්තාව ඉහළ මහලේ තනිකර පහළ මහලට ආවේ තමන් ඉලක්ක කළ පුද්ගලයා සොයාගැනීමේ අටියෙනි. ඔහුගේ උත්සාහය සාර්ථක වෙමින් අනුර නිවෙසට ඇතුළු වූයේය. එහෙත් තම නිවෙස තුළ මෙහෙකාර කාන්තාව හැර තවත් ආගන්තුකයෙක් සිටින වග ඔහුට ඉවෙන් මෙන් දැනුණේය.

 

කවුද? .... කවුද?..... යනුවෙන් අනුර ප්‍රශ්න කළේය. එහෙත් ආගන්තුකයාගෙන් පිළිතුරක් නොවීය.



අනුර නිවෙසට ආ බව මෙහෙකාර කාන්තාව ඔහුගේ කටහඩින් හැඳින ගත්තාය. ඔහු පැමිණ මඳ වේලාවකින් කෙදිරිලි හඩක් නැඟුණ හෙයින් ඇයට වැටහුණේ කුමක් හෝ ඇබැද්දියක් මහත්තයාට සිදුව ඇති බවයි.



ඔහු මෙහෙකාර කාන්තාව සොයමින් කතා කළේය. ඒ හඩ වටහා ගත් මෙහෙකාර කාන්තාව තමා සිටින්නේ ඉහළ මහළේ යැයි මහත්තයාට පිළිතුරු දුන්නාය. පිටෙහි හා උදරයේ තිබූ කැපුම් තුවාල පිටින්ම ඔහු ඈ සොයාගෙන ඉහළ මහලට ගියේය. ඒ වනවිට ඇවිද යා හැකි තත්ත්වයේ සිටි ඔහු මෙහෙකාර කාන්තාව ලිහා දැමුවේය.



සිය ස්වාමියාගේ තුවාල දුටු ඈ ඔහුගේ තුවාලවලට අයිස් තබා රෝහලට යමු යැයි යෝජනා කළාය. එහෙත් එයට අනුර අකමැති වූයේය. පොලිසියට දන්වනවාටත් ඔහු විරුද්ධ වුණේය. ඔහු එයට හේතු හැටියට කීවේ තමා ගෙල බැදි රන් මාලය සැකකාර පුද්ගලයා විසින් පැහැරගෙන යනු ලැබූ බවය. ඔහු එය පැහැර ගත්තේ නැති බැරි පුද්ගලයෙක් නිසා යැයි අනුර කීය. තුවාලයට බෙහෙත් දමා ගන්නට රෝහල්ගත වෙන්නට ඉඳුරාම විරුද්ධ වූ ඔහු මෙහෙකාර කාන්තාවගෙන් ඉල්ලීමක් කළේය. ඒ, මේ ගැන කිසිවක් බිරියටවත් දරුවන්ටවත් නොදන්වන ලෙසය. එසේ කියූ ඔහු බිරියත් දරු දෙදෙනාත් නිවෙසට එනවිට තුවාලවල වේදනාව දරා ගනිමින්ම සෝෆාවට වී රූපවාහිණිය නරඹමින් සිටියේය.



සිය ස්වාමියාට මුහුණ දෙන්නට වූ අකරතැබ්බය ගැන අනුරගේ බිරියට කියන්නට මෙහෙකාර කාන්තාව තීරණය කළේ තවදුරටත් මෙය බලා ඉන්නට නොහැකි වූ නිසාය. ඒ ගැන කියූ විට දියණියන් දෙදෙනා තාත්තාව රැගෙන ගියේ ගම්පහ රෝහලටය.

 

එහෙත් ඔහුට මුහුණ දෙන්නට වූ සිදුවීම ගැන කිසිවක් ඔහු රෝහල් පොලිසියටවත් කීමෙන් වැළකී ඉන්නට උත්සාහ කළේය. දින තුනක් තිස්සේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනුර පෙරේදා (06 වැනිදා) සදහටම දෙනෙත් පියා ගත්තේ පොලිසියට විසඳන්නට අබිරහසක් ඉතිරි කරමිනි. ඔහුගේ දියණියන් දෙදෙනාට පිය සෙනෙහස අහිමි විය. අනුරගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07 වැනිදා) ගම්පහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබුණේය.


අනුරගේ මරණය ගැන මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කළේය. ඔහුගේ අබිරහස් ඝාතනය ගැන සොයමින් සිටි පොලිසියට සැකකරු ගැන දැනගන්නට එක් හෝඩුවාවක් ඉතිරි විය. ඒ, අනුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කාලයේදී කියූ පුද්ගලයකු ගැනය. ඒ, තමන්ට පහරදුන්නේ මීට පෙර මුදල් ආරවුලක් ඇති කරගත් මේසන් බාස් කෙනෙකු ගැනය. අප්‍රේල් මාසයේදී දීමට පොරොන්දු වූ මුදල් නොදුන්නැයි මීට පෙර තමාට තර්ජනය කළ බවට ඔහු මිතුරෙකුට කියා තිබුණේය. අනුර නොකීවද ඔහුගේ මිතුරා මේ ගැන පොලිසියට කීවේය. මාකවිට, සියඹලාපිටියේ පදිංචි බාස් උන්නැහේ සොයා ගියද ඒ වන විටත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය.



ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාරගේ උපදෙස් අනුව මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන මැදගම, ජයවර්ධන, පොලිස් සැරයන් තරංග (10089), පොලිස් කොස්තාපල්වරුන් වන නිමල් (26356), විජේසුන්දර (103912) සහ බුද්ධි අංශ නිලධාරිහු අනුරගේ ඝාතනයට වගකිවයුතු පුද්ගලයා සොයා විමර්ශන සිදුකරති.

views

440 Views

Comments

arrow-up