ආදරයට වයස බාධාවක්ද? - ඔහුට 100යි.. ඇයට 102යි, වැඩිහිටි නිවාසයේදී පටන්ගත් ආදරය විවාහයකින් ජයගත් යුවළ (PHOTOS)

ඔයා බැඳලද ? වයස යන එක ප්‍රශ්නයක් ද ?? බඳින්න කෙනෙක් තාම නැද්ද ??
ඔන්න ඔය ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලැබේවි මේ කතාව කියෙව්වාම.
කතාවක් තියෙනවා නේද ''සැබෑ ආදරේ වැඩිහිටි නිවාසයකදී වුවද මුණගැසිය හැක'' කියලා.
අන්න ඒ කියමනට කදිම නිදසුනක් සපයනවා මේ කතාව..
කතාව ඇහෙන්නේ පෙන්සිල්වේනියාවේ විශාලතම නගරය වන ෆිලඩෙල්ෆියාවලින්.
මේ ආදර කතාවේ ප්‍රේමවන්තයා වන්නේ වයස අවුරුදු 100ක් වුණු 'Bernie Littman'
එතකොට ඔහුගේ අතගත් පෙම්වතිය 102 හැවිරිදි 'Marjorie Fiterman' නම් අයයි.
පහුගිය දවසක (මැයි 19) මේ දෙදෙනා විවාහ වී තිබුණේ, ඔවුන් එකිනෙකා හමුවූ විශ්‍රාමික නිවස්නයේදී. විවාහයට ප්‍රමාද වීම් අදාළම නැති බව මේ සියවස් සපිරුණු යුවළ පෙන්වා දී හමාරයි.
ඒ, ජීවිතයේ සැඳෑ සමයේදී ''නව ජීවන පරිච්ඡේදයක්'' අරඹමින්.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අළුත විවාහ වූ යුවළගේ ආදර කතාව පටන් අරන් තියෙන්නේ මීට දශකයකට පමණ පෙර.
ඔවුන්ගේ විවාහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්මන්ගේ මිණිබිරිය වන සාරා සිචර්මන් සඳහන් කර තිබුණේ, වයස්ගත වූවද යුවළ එකිනෙකා සොයාගැනීමටත් එකිනෙකාට සහාය දැක්වීමටත් වාසනාවන්ත වුණු බව.
නව යුවළගේ පවුලේ උදවිය පවසන පරිදි, විශ්‍රාමික නිවස්නයේ පැවති ''costume party'' එකකදීයි දෙදෙනාගේ පෙම් හමුව සිදුව තිබුණේ.
ඒ හමුව පිටුපස තවත් කතාවකි. එනම් ලිට්මන්ගේ මී මිනිබිරියක් උපත ලැබූ දිනයේම ඔහුට සිය සහකාරිය මුණගැසීමයි.
''මෙච්චර වයසට ගිහින් පෙම්වතියක් '' වගේ අදහසක් ඇතුව ඇස් නළලට නොගත් ලිට්මන්ගේ පවුලේ පිරිස වඩාත් සතුටට පත්ව ඇත්තේ සැඳෑ සමයේ ජීවිතය බෙදාගැනීමට සගයෙක් මුණගැසීමේ වටිනාකම් අගයමින්.
ඒ බව ඔවුනට හොඳින්ම පැහැදිලිව තිබුණේ COVID-19 වසංගතය අතරතුර ඔවුන් එකිනෙකාට දක්වන ලද සහාය සුළුපටු නොවන බව හැඟී යාමෙන්.
විදෙස් වාර්තාවන්ට අනුව ලිට්මන් සහ ෆිටර්මන් දෙදෙනාම මීට පෙර විවාහව සිටි අය.
පසුකාලීනව ජීවිතයේ සැඳෑ සමයේ හමුවූ ප්‍රේමවන්තිය විවාහ කරගැනීමේ දිගුකාලීන සැලසුමක් ලිට්මන් හට නොතිබුණද, අවසානයේ සමීප මිතුරන් හැටියට ඇසුරු කිරීම ''සැමියා - බිරිඳ'' දක්වා ගෙනයාමට තීරණය කළ බව සඳහන්.
දෙදෙනා වයස එක්ක ලබා ඇති ජීවන අත්දැකීම්, මේ තාක් කල් සහයෝගීව එකිනෙකා උදෙසා කළ කැපකිරීම් විවාහයක් දක්වා යාමට හොඳ සවිමත් අඩිතාලමක් දමා ඇති බවයි ඔවුන්ගේ විවාහ උත්සවයට පැමිණි කාගෙත් අදහස වී තිබුණේ.
ලිට්මන්ට ඔහුගේ පෙම්වතිය විශ්‍රාම නිවස්නයේදී හමුවූවද, ඔවුන් දෙදෙනාම පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආදී සිසුන් බව සඳහන්. නමුදු දෙදෙනා වෙනත් උපාධි හැදෑරීම, එකල ඔවුන්ව හමුවීම වළක්වා තිබුණා.
මේ ආදර කතාව ලෝක වාර්තාවක් ද වනවා.
දෙදෙනාගේම වයස්වල එකතුව අවුරුදු 202ක්. මීට ඉහත එවන් ඉහළ වයස් එකතුවක් සහිතව විවාහ වී තිබුණේ එංගලන්තයේ ඩොරීන් සහ ජෝර්ජ් කර්බි නම් අය. 2015 වසරේ ජුනි 13 වන දින ඔවුන් විවාහ වන විට ඔවුන්ගේ වයස්වල එකතුව 194ක් බව සඳහන්.
කතාව පටන් ගන්නකොට අපි කිව්වනෙ ඔයාගේ විවාහ ප්‍රමාදය සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර හම්බෙයි කියලා...
දැන් පැහැදිලියි නේද, ''කසාදයක් කරගන්න වයස අදාළම නෑ''
428 Views
Comments