"දිසාපාමොක් පන්හිඳ" - දෙවන කොටස

එදා රෑ හිඟුරක්ගොඩ.... තාත්තගේ යාළුවාගේ ගෙදර.....
මට නම් ගමන් මහන්සිය හින්දා ඇඟට දැනුණු වෙහෙස වචනයෙන් කියන්න අමාරුයි. ඒ විතරක්යැ. හිතට කිසිම සහනයක් නැහැ.
"හෙට උදේ කොච්චර දුරකට යන්න වෙයි ද?"
කියන සිතුවිල්ලේ අතරමං වෙලා නින්දත් නොනින්දත් අතර හිටියා මිසක් හරියකට නින්ද ගියෙත් නෑ.
තාත්තයි මමයි පහුවදා උදෙන්ම ලෑස්ති වෙලා කදුරුවෙලට ගියා. බස් ස්ටෑන්ඩ් එකට ගිහින් ටයිම් කීපර් මහත්තයව තමයි මුණ ගැසුණේ.
"මිස්ලට කොහාටද යන්ඩ ඕනේ?"
"කන්දේගම කනිෂ්ඨ විද්‍යාලයට. එහාට යන්න මොන බස් එකේද යන්න ඕනේ"
ටයිම් කීපර් මහත්තයා මං දිහා අනුකම්පාවෙන් වාගේ ටිකක් වෙලා බලාගෙන හිටියා.
"අනේ, මිස් මේ ගමට බස් එකක් යන්නේ දවසකට එක වතාවයිනෙ. උදේ පාන්දර පහට එහෙන් එනවා. දවල් එකොළහට කදුරුවෙලින් පිටත් වෙනවා"
එක පාරට ම මගේ ඇස් දෙක නතර වුණේ අත් ඔරලෝසුවේ.
නවය පහු උනා විතරයි. හිතට පුදුමාකාර සතුටක් දැනුණා.
"ඇති යාන්තම්. බස් එකක් තියෙනවලුනෙ"
මගේ යටි සිත කතා කළා.
"කොහෙද දන්නෙ නෑ ඒ බස් එක නවත්තන්නෙ"
මගේ ප්‍රශ්නයට උත්තරයක් නොදීම ඔහු හිස් ආකාසේ දිහා බැලුවා. තාත්තායි මමයි මූණෙන් මූණ බලාගත්තා.
"අනේ,සොරි මිස්. ඒ බස් එක අද නෑ. බස් එක කැඩිලා දවස් ගාණක්. තව ම රෙපයාර් කරලා ඉවර නෑ මයෙ හිතේ"
වරදක් කළ කෙනෙක් වගේ ඔහු ඉවත බලා ගෙන කීවා. ඒ වෙන කොට අපි දෙන්නා ළඟට බස් කොන්දොස්තර මහත්වරු කීප දෙනෙක්ම ඇවිල්ල.
"මිස්ගෙ ගම් පළාත කොහෙද?"
"මෙච්චර දුර ආවෙ?????"
"මිස්ගෙ පළවෙනි පත්වීම වෙන්න ඇති නේද?"
ඔවුන්ගෙන් මට ප්‍රශ්න වැලක්. මමත් ඒ ඔක්කොටම කෙටියෙන් උත්තර දුන්නා.
ටයිම් කීපර් මහත්තයගෙන් අපට මාර්ග විස්තරය ලැබුණා.
"මිස්ලා අන්න අතන තියෙන මාදුරු ඔය බස් එකට නගින්ඩ. පිඹුරත්තෑව හන්දියෙන් බස්සවන්න කියන්ඩ. එතනින් බැස්සහම වමට තියෙන අලුතින් හදන ගුරු පාර දිගේ තමයි යන්ඩ ඕනෑ. බාග වෙලාවට මහවැලියෙ වැඩ කරන වාහනයක් හම්බ වෙන්න පුළුවන්. නැත්තං කතා බස් එකේ යන එකයි ඇත්තෙ"
ඔහුට තුති පුද කළ අපි මාදුරුඔය බස් එකට නැග්ගා.
යන්තම් වාඩි වෙන්න සීට් දෙකක් නං හම්බවුණා. බස් එක පිටත් වෙන තුරු බස් එකට නැගලා ඉන්න ගැහැනු පිරිමි ළමා ළපටින් දිහා බැලුවා නෙමෙයි මට බැලුනා.
වයසට වඩා වයස පෙනෙන උදවිය...
කේඬෑරි වෙච්ච ශරීර....
දුගී දුප්පත්කම කියාපාන ඇඳුම්...
මේවා දැක්කහම මගේ යටි හිත ගැස්සිලා ගියා.
බස් එක පිටත් වෙන වෙලාව එනකොට හොඳටම සෙනග පිරිලා.
ජීවිතේ කවදාවත් නොගිය පැත්තතකට යන ගමනක්.
බස් එක හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන්නට වුණා...........
තුන්වෙනි කොටසින් හෙට හමු වෙමු....
පළමු කොටස මෙතනින් බලන්න
449 Views
Comments