"දිසාපාමොක් පන්හිඳ" - ගුරු දිවිය මුළු දිවියම කරගත් ආදරණීය ගුරුතුමියකගේ මතක

"ට්‍රීං.. ට්‍රීං.... ට්‍රීං.. ට්‍රීං...."
ලියුම්කාරයාගේ බෙල් එක ඇහිලා දුවගෙන ගියපු මම ලියාපදිංචි තැපෑලෙන් මගේ නමට ආපු ලියුම හනි හනිකට දිගහැරියේ ඉහ වහා ගිය සතුටකින්.
රාජ්‍ය සේවය පිණිසයි...!!!
"ගුරු පත්වීම් ලිපිය"
දිස්ත්‍රික් සේවා ක්‍රමය යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයට පත්වීම හම්බවෙලා.
පොළොන්නරුව, අපේ දෙවැනි රාජධානිය.
පරාක්‍රම සමුද්‍රය, පරාක්‍රමබාහු ප්‍රතිමාව, ගල් විහාරය, නිශ්ශංක ලතා මණ්ඩපය වගේ සුවිශේෂී ඓතිහාසික ස්ථාන ගැන මතකය මගේ යටි සිතින් උඩු සිතට ගලා ගෙන ආවා.
එකපාරටම මගේ මතකයට ආවේ ඉස්කෝලේ කාලේ ගිය අධ්‍යාපන චාරිකාව. පොළොන්නරුව ගැන මං දැනගෙන හිටියේ එච්චරයි.
ඒ මීට හරියටම අවුරුදු 39 ක ට ඉස්සර.
දැන් නම් පත්වීම් ලිපි ප්‍රදානය කරන්න ලොකු උත්සව තියෙනවනේ. ඒ කාලේ එහෙම නෑ. පත්වීම් ලියුම තැපෑලෙන් ගෙදරටම එනවා. අදාල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කාර්යාලයට ගියාම පුරප්පාඩු තියෙන පාසලකට පත්වීම් ලිපිය ලබා දෙනවා.
සැක මුසු සියුම් සතුටක් හිත යට හැංගිලා.
"කොහාට යන්න වෙයිද?"
සියුම් තිගැස්මක් සැරින් සැරේ ඉස්මතු වෙනවා.
කොහොම හරි දහසක් අපේක්ෂා පෙරදැරිව ගමනට ලක ලැහැස්ති වුණා.
මගේ ඇඳුම් කැඩුම් ටික අහුරපු ලොකු සූට්කේස් එකක්, තව පුංචි බෑග් එකක් එක්ක තාත්තයි, මමයි උදේ රැයින්ම පිටත් වුණා පොළොන්නරු යන්න.
ලොකු සූට්කේස් එක තාත්තා අතේ. පුංචි බෑග් එක මං කරේ එල්ලා ගෙන.
පැය හයක විතර ගමනකින් පස්සෙ පොළොන්නරුවට ළඟා වුණා .
අධ්‍යාපන කාර්යාලෙදි පත්වීම් ලිපිය අතට ලැබුනහම කර කියා ගන්න දෙයක් නැතුව ගියා.
"මේ ඉස්කෝලේ හොයාගෙන යන්න දැන් නම් වේලාව නෑ මගේ පුතේ. මගේ යාලුවෙක් ඉන්නවා හිඟුරක්ගොඩ. අද අපි එහේ යමු. හෙට උදේම මේ ඉස්කෝලෙ හොයාගෙන යමු"
අපේ තාත්තා බොහෝ ඇසූ පිරූ තැනැත්තෙක්. දුර දක්නා නුවණක් සහිත කෙනෙක්. ඒ හින්ද ම මම තාත්තගේ යෝජනාවට කැමති වුණේ එක පයින් ම.
තියෙන දිහාක්වත් දන්නෙ නැති ඒ ඉස්කෝලෙ කොහෙද? මම ඒ ඉස්කෝලෙ කොහොමද හොයාගත්තෙ? එහෙදි මොකද උනේ? දෙවෙනි කොටසින් මේ විස්තරත් අරගෙන ඉක්මනින් එන්නම්....
573 Views
Comments