සොහොයුරා වෙනුවෙන් යුතුකම් ඉටුකොට ජීවිතය හැර ගිය පුංචි වීරයා

දිනපතා ජීවිතයේ දී අපට අහන්න දකින්න ලැබෙන්නේ හද කම්පා කරවන පුවත් වීම සැබැවින්ම ඉතාම කණගාටුදායක කරුණකි. ඒ අතරිනුත් සමහර සිදුවීම් අපේම නොවුණත් අපේම වන තරමටම අපේ ජීවිත වලට ඒ සිදුවීම් සමීප වනවාට කිසිම සැකයක් නැත. මේ කතාවත් එවැනිම අපේ නොවී අපේ වුණ සංවේදී කතාවකි.
මේ වන විටත් කතා නායකයා වන පුංචි රන්දිය අප අතරින් සදහටම නික්ම ගොස් අවසන් ය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රන්දිය කලාවට මෙන්ම ඉගෙනීමට බොහෝ දස්කම් පෑ දරුවෙකි. හිටි හැටියේම දරුණු ලියුකේමියා රෝගී තත්ත්වයකින් අසනීප වූ පුංචි රන්දියට ඇති ජීවිත අවදානම ගැන දෙමව්පියන්ට දැනුම් දීමට වෛද්‍යවරු කටයුතු කර තිබුණි.
රෝගී තත්ත්වය හේතුවෙන් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබූ රන්දියගේ විශේෂත්වය වූයේ ඔහු රෝහලේ ප්‍රතිකාර ලබන කාලය පුරාම රෝහලේ සිටි මුළු වාට්ටුවම තමන්ගේ ග්‍රහණයට හසුකර ගෙන තිබීමයි. පාට පාට කඩදාසි වලින් කළ පුංචි පුංචි නිර්මාණ වලින් මුළු වාට්ටුවම හැඩ කළ මේ පුංචි රන්දියට එහි වෛද්‍යවරු ඇතුළු හෙද කාර්යය මණ්ඩලය බොහෝ සෙයින් ආදරය ,කරුණාව දැක්වූ බවද සඳහන් වේ.
රන්දියට පාසලෙන් ඈත් වී සිටීමට සිදු වූවත් ඔහුගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන් රන්දියව කිසිදා තනි නොකළේ දරුවන් හාර පන්දහසක් සිටින ලංකාවේ ප්‍රසිද්ධ පාසලක් වුණු තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මනුස්සකමින් පිරුණු හදවත් ඇති පිරිසක් බව ඒත්තු ගන්වමිනි.
ඔවුන් හැකි සෑම විටම රෝහලට පැමිණි අතර රන්දිය වෙනුවෙන් සෙත්පතා නිතර නිතර බෝධිපූජාද පැවැත්වූයේ ඔහු පිළිබඳ ඔවුන් තුළ ඇති කරුණාව ආදරය මොනවට කියාපාමිනි. රන්දියව බලන්න රෝහලට පැමිණෙන රන්දියගේ ගුරුතුමිය රන්දියට බත් කවන්නේ පුදුමාකාර ආදරයකිනි. මේ අතර එක් දවසක පුංචි රන්දිය බැලීමට පැමිණි විදුහල්පතිතුමා රන්දියගෙන් ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද කියා අසා සිටිනවා. පුංචි රන්දිය අහිංසක ඉල්ලීමක් වශයෙන් තම විදුහල්පතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ තම සහෝදරයාව ගමේ පාසලෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කර දෙන ලෙසයි.
විදුහල්පතිතුමන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ අසීමිත කැපකිරීම් රාශියක් මැද රන්දියගේ සහෝදරයා තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට තීරණය කළ අතර පුංචි රන්දියම තම සහෝරයාව තර්ස්ටන් විද්‍යාලයට කැදවාගෙන එනු ලබනවා.
ප්‍රතිකාර අතර පාසලට පැමිණෙන රන්දිය පිළිගැනීමට පාසලේ සියලු දෙනා එක්ව උත්සවයක් සංවිධානය කර තිබූ අතර මේ සිදුවීම් සියල්ල රන්දිය සිතූ ලෙසම ඉටුව යද්දි රන්දියට ජීවිතයේ පාසල සමග, තම දෙමාපියන් සමග, යහළුවන් සමග ගත කරන්නට තිබූ කාලය කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් ඔහුට ආදරය, කරුණාව දැක්වූ සියළු දෙනාගේ නෙත් කඳුළින් තෙත් කරමින් පුංචි රන්දිය පසුගිය පෙබරවාරි 5 වනදා සදහටම අප අතරින් සමුගෙන යනවා.
පුංචි රන්දිය එසේ නික්ම ගිය ද ඔහුගේ පාසලේ විදුහල්පතිතුමාගේ මේසය මත තබා ඇති පුංචි රන්දියගේ කඩදාසි නිර්මාණ එහි යන එන ඕනෑම කෙනෙකුට ඔහු රන්දිය කෙරේ තබා ඇති ආදරය, කරුණාව පසක් කරවනවා.
“මේක මන් පුළුවන් තරම් කාලයක් මෙතන තියාගන්නවා.
මේසෙන් අයින් කරන්නේ නැහැ”
යනුවෙන් ඔහු පවසන්නේ ඔහුගේ සිත තුළ රන්දිය පිළිබඳ ඇති අසීමිත ආදරය කියාපාමිනි.
323 Views
Comments