ක්‍රිකට් ක්‍රීඩාවට පෙම් බැඳි සුවිශේෂී යෞවනයෙකුගේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

ක්‍රිකට් ක්‍රීඩාවට පෙම් බැඳි සුවිශේෂී යෞවනයෙකුගේ කතාව

ක්‍රිකට් ක්‍රීඩාවට පෙම් බැඳි සුවිශේෂී යෞවනයෙකුගේ කතාව

ආයුබෝ ආදරණීය සති අන්තයේ මංගල අදියර වෙනුවෙන් විශිෂ්ඨයන් සොයා යන ගමනේදී අපට තවත් එක් විශිෂ්ඨයෙක් මුණ ගැසුණා.

ක්‍රීඩාවට ලොබ බඳිමින්, ක්‍රීඩාව ජීවිතයම කරගත් මේ සුවිශේෂී තරුණයා අපට හමු වුණේ මීගමුව ප්‍රදේශයෙන්. මළල ක්‍රීඩාවට සේම ක්‍රිකට් ක්‍රීඩාවටත් එක සේ හපන්කම් පාන මේ නව යෞවනයා ක්‍රීඩාවේ යෙදෙන අතරම ක්‍රීඩා විද්‍යාව පිළිබඳ හදාරමින් ක්‍රීඩාවෙන් දුර ගමනක් යන්නට සිහින පොදිබැඳගනිමින්, ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටින විශිෂ්ඨයෙක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

 

ඉතින්, මීගමුව සසෙක්ස් විදුහලෙන් සහ මාරිස්ටෙලා විද්‍යාලයෙන් ක්‍රීඩා ලොවට දායාද වුණු, සංඛ පූර්ණ වන්නිතිලක. අපි ඔහුව අයුබෝ කියා පිළිගන්නා අතර, ආයුබෝ ආදරණීය සති අන්තයේ මේ සතියේ ආදරණීය තාරුණය ලෙස ඔබට හඳුන්වා දෙන්නටයි මේ සූදානම් වන්නේ.

මේ ඔහු කියන කතාවයි.

 

මම සංඛ පූර්ණ වන්නතිලක. වයස 25 යි. ගම මීගමුව. මම මුලින්ම ගියේ මීගමුව සසෙක්ස් ජාත්‍යන්තර පාසලට. ඒ කාලයේ මම මළල ක්‍රීඩා වලට තමයි මුලින්ම යොමු වුණේ. මොකද පුංචිම කාලේ ඉඳන් ආසාව තිබුණා වුනත්, සසෙක්ස් පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ නැහැ. ඒ නිසාම මම වෙන්නප්පුවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ළඟ ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වෙන්න යොමු වුණා. ඒක තමයි මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය.

 

- හොඳයි. එතකොට ඔබ මාරිස්ටෙලා විදුහලට ගියේ කොයි කාලයෙද?

හත වසරෙදි. සසෙක්ස් කොලේජ් යන කාලේ මම මළල ක්‍රීඩා වලින් ජයග්‍රහණය කීපයක්ම ලබාගත්තා. මාරිස්ටෙලා එකට යන්න ගත්තට පස්සෙ මට පුළුවන් වුණා පාසල් ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න. ඒ වුණත් මම මාරිස්ටෙලා විද්‍යාලයෙදිත් මළල ක්‍රීඩා වලට සහභාගි වුණා. නමුත් මට වැඩියෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. මම මුලින්ම පාසලේ 13න් පහළ C කණ්ඩායමට තමයි එකතු වුණේ. ඊළඟ අවුරුද්ද වෙනකොට 13න් පහළ A කණ්ඩායමට  එකතු වෙන්න මට පුළුවන් වුණා. එතනින් පස්සෙ මම දිගටම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කළා.  ඒ වගේම 19න් පහළ පාසල් කණ්ඩායමේ උපනායකයා වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

 

- හරි. ඔබේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න කලින් අපි එහෙනම් කතා කරමු අනෙක් දේවල් ගැන. ඔබ යෙදුණ මළල ක්‍රීඩා ගැන පොඩි විස්තරයක් කළොත්.

පොඩිම කාලේ දී සසෙක්ස් කොලේජ් එකේදි වගේම මාරිස්ටෙලා එකේදිත් හැම අවුරුද්දකම මම මලල ක්‍රීඩාවලින් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. දුර පැනීම තමයි මම දිගටම කරගෙන ගිය මළල ක්‍රීඩාව. ඊට අමතරව මීටර් 100 සහ 400 සහය දිවීමේ ඉසවු වලටත් සහභාගි වුණා. කොට්ඨාස පළාත් හා සමස්ත ලංකා මට්ටම වෙනකන් ප්‍රථම ස්ථාන හිමිකර ගත්තා මම දුර පැනීමේ ඉසවුවෙන්. මම ලබපු විශේෂ ජයග්‍රහණයක් තමයි 2012 වසරේ ජෝන් ටාබට් සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීම.
 

ඇත්තටම පුංචිම කාලෙ මාව ගෙදරින් මුලින්ම දැම්මේ ස්විමිං වලට. ඒක මං හිතන විදිහට පස්සෙ කාලෙදි මගේ අනික් ක්‍රීඩා වලට ලොකු උපකාරයක් උනා. මම පාසල් කාලෙ වොලිබෝල්, බාස්කට්බෝල් වගේම ෆූට්බෝලුත් සෙල්ලම් කරල තියෙනව.

 

- හොඳයි. එහෙනම් අපි එමු ඔබේ විශේෂ කැමැත්ත තියෙන ක්‍රිකට් ක්‍රීඩාව පැත්තට. ඔබ කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ සහ ඒකෙන් ළඟා කරගෙන තියෙන දේවල් ගැන සඳහන් කළොත්.

මං හිතන්නේ පුංචිම කාලේ අප්පච්චිත් එක්ක ටීවී එකේ ක්‍රිකට් මැච් බලලා තමයි මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ තරම් ආසාවක් ඇති වුණේ. ඇත්තටම මගෙන් පොඩි කාලේ මොනවද ඕනි කියල ඇහුවාම බැට් එකයි බෝලෙයි තමයි හැම තිස්සෙම ඉල්ලල තියෙන්නෙ කියලා අම්මා අප්පච්චි තාමත් කියනවා. මම මුලින්ම ගිය සසෙක්ස් කොලේජ් එකේ ක්‍රිකට් නොතිබුණ නිසා මළල ක්‍රීඩා කරනකොට මට ඒ ගැන ආසාවක් ඇති වුණත්, මාරිස්ටෙලා එකේ ටික කාලයක් ඉන්නකොට මම තීරණය කරා ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආසාව නිසාම මළල ක්‍රීඩා වලට සමු දෙන්න.

 

- ඉතින් සංඛ, ක්‍රීඩාවෙන් ඔබ මේ වෙනකොට ළඟා කරගෙන තියෙන දේවල් ගැනත් ටිකක් කතා කරමු.

දැනට මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ විෂය යටතේ උපාධිය හදාරමින් ඉන්නවා. දැනටමත් විශ්වවිද්‍යාල ජීවිතයේ අවසන් වසර තමයි ගතවෙමින් තියෙන්නෙ. ඒ වගේම මම ක්‍රීඩා සමාජ කීපයක් එක්ක එකතු වෙලා වෘත්තීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙ යෙදෙනව 2017 වසරෙ ඉඳන්.

මම 15න් පහළ පළාත් කණ්ඩායම නියෝජනය කළා, 2014 මම 17න් පහළ ජාතික සංචිතයට එකතු වුණා. 2017 වසරේ මම 17න් පහළ එංගලන්ත සංචාරයේ සංචිතයටත් ඇතුළත් වෙලා හිටියා. 2017 - 19 කාලේ මට අවස්ථාව ලැබුණා NCC ක්‍රීඩා සමාජය එක්ක එකතුවෙලා වෘත්තීය ක්‍රිකට් ජීවිතයට අත්පොත් තියන්න. 2019 දී නුගේගොඩ ක්‍රීඩා සමාජයට ඇතුළත් වෙන්න මට අවස්ථාව හිමි වුණා. 2022 දී ආයිමත් සැරයක් මගේ ක්‍රීඩා සමාජය මාරු වුනා. ඒ අනුව මම ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන්න පටන් ගත්තා. 2020 වසරේදී ලන්කන් සී සී සංගමයත් එක්ක එකතු වෙන්න අවස්ථාව ලැබුණා මට. 

2018-19 ඉඳන් මේ වෙනකම් මම නවලෝක මර්කන්ටයිල් පිළේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියටත් කටයුතු කරන අතරේ, විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් විදියටත් එකතු වෙලා ඉන්නවා. 2019 මම ක්‍රීඩා කරපු නවලෝක කණ්ඩායම බී - ඩිවිශන් එකේ අනුශූරතාවය දිනා  ගන්න සමත් වුණා. ඒ වගේම 2022 ශූරතාව දිනා ගන්නත් අපේ කණ්ඩායමට හැකි වුණා. 2022 අපේ විශ්ව විද්‍යාල කණ්ඩායම, අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නත් සමත් වුණා.ඒ වගේම තමයි 2019 කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම එක්ක ඉන්දියානු සංචාරයකට එක් වෙන්න ලැබීමත්, ඒ අවුරුද්දෙම මිලේනියම් යුනයිටඩ් කණ්ඩායමත් එක්ක සිංගප්පූරුවේ සංචාරයකට එක් වෙන්න ලැබීමත් මගේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන මතක.

 

- හොඳයි. ඔබ ආ ගමන ගැන කතා කළා. සංඛ, මේ ගමන එන්න ඔබට උදවු කරපු අය කවුද? ඒ අය ගැනත් පොඩි මතක් කිරීමක් කළොත්.

ඇත්තටම ගොඩක් අය ඉන්නවා. මුලින්ම කියන්න ඕන මගේ අම්මා සහ අප්පච්චි ගැන. ඒ දෙන්නා තමයි මගේ ලොකුම හයිය. එයාලා තමයි මේ හැමදේකම පදනම. ක්‍රීඩාවට වගේම අනිත් දේවල් වලටත් අවශ්‍ය හැමදේම අරන් දීලා හොයල බලල එයාලා තමයි මම මේ ඉන්න තත්වෙට ගෙනාවේ. එයාලා නැත්නම් මට මේ තත්ත්වයට එන්න කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ වගේම මගේ පළවෙනි පුහුණුකරු වසන්ත විජේසූරිය සර් සහ ඉස්කෝලේ සියලුම පුහුණුකරුවන් වගේම මම ක්‍රීඩා කරපු හැම සමාජයකම මගේ කණ්ඩායම් සගයින් සහ පුහුණුකරුවන් මට කවදාවත් අමතක කරන්න බැහැ.

ඉතින් මේ ගමනට හයියක් ශක්තියක් වුණු මේ හැම කෙනෙක්ම මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න කැමතියි.

 

- හොඳයි. ඉතින්, අවසාන වශයෙන් අපි කියමු, ක්‍රීඩාව පැත්තෙන් මොනවද ඔබේ තියෙන අනාගත බලාපොරොත්තු.

ඇත්තම කියනව නම් බලාපොරොත්තු සේරම තවම එහෙමමයි. මොකද ක්‍රීඩකයෙක් විදියට මම ඉන්න තැන ගැන මම තෘප්තිමත් නැහැ. පාසල් කාලේ මගේ හීනය වුණේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙන්න. ඒත් මට ඒක එක විවිධ හේතු නිසා කරගන්න බැරි වුණා. නමුත් මම තාම ක්‍රිකට් ක්‍රීඩාව අතහැරලා නැහැ. ඒ පැත්තෙන් මට යන්න පුළුවන් ඉහළම තැනට යන්න, මම මගේ අධ්‍යාපනය අවසන් වෙමින් තියෙන නිසා ඒ ඉලක්කයට වැඩි අවධානයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දවස් වල මම ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියටත් කටයුතු කරනවා. 

ඊට අමතරව මගේ බලාපොරොත්තුවක් තියෙනවා ක්‍රීඩාවට සම්බන්ධ ෆිට්නස් පැත්තෙන් යමක් කරන්න. ඒ කියන්නේ ක්‍රීඩාවේ තියෙනවා කැලිස්තෙනික්ස් කියලා කැටගරි එකක්. ඒක ලංකාවේ ඒ තරම් අවධානය යොමු වෙච්ච ක්ෂේත්‍රයක් නෙවෙයි. ශරීර බර සහ ශක්තිය හසුරුවාගෙන කරන ඉතාම අමාරු ව්‍යායාම විශේෂයක් තමයි කැලිස්තෙනික්ස් කියන්නේ. ඉතින් ඒ පැත්තෙන් ජිම් එකක් හරි පුහුණු ආයතනයක් හරි පටන් ගන්නත් මගේ අදහසක් තියෙනවා. ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශාල අඩුවක් සම්පූර්ණ කරන්න ඒක උපකාරයක් වෙයි කියලා මම හිතනවා. අන්තිම වශයෙන් ක්‍රීඩාවේ යෙදෙන තාක්කල් ක්‍රීඩාවට උපරිම සාධාරණයක් කරමින් ක්‍රීඩාවට මගේ ජීවිතෙන් දෙන්න පුළුවන් උපරිම දේ දෙන ගමන්, ක්‍රීඩාවෙන් මගේ ජීවිතයට ගන්න පුළුවන් දේත් උපරිමයෙන් ගන්න එක තමයි මගේ අවසාන බලාපොරොත්තුව.

එතෙකින් අපි සංවාදය නිමා කලද, මේ ජවසම්පන්න තරුණයාගේ සංචාරය නිමා වී නැත. ඔහුගේ අධිෂ්ඨානය සහ අරමුණු කරා යාමේ දැඩි උත්සාහය ඔහු සිය ක්‍රීඩා ජීවිතය තුළින් උකහා ගත්තක් විය හැකි යැයි අපි සිතමු. එසේම මේ විශිෂ්ඨ තරුණයා දිනෙක ක්‍රීඩාව තුළින් තම අරමුණු ජයගෙන ජාත්‍යන්තරය පුරා ද මවුබිමේ නාමය රන්දනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.


ඒ නොකියූ සිතිවිල්ලත් සමග ආයුබෝ අපි ඔහුට ආයුබෝ පිරි සුබ අනාගතයක් පතමින් සමු දෙන්නේ අනාගතයේ ඔහු සිය සිහින ජයගත් දාක නැවතත් ඔහු මුණගැසෙන බලාපොරොත්තුවෙනි. මේ කුසලතා පිරිපුන් යෞවනයාගේ දක්ෂතා ඇතුලත් තවත් ඡායාරූප කිහිපයක් පහතින් පළ කෙරේ.

(ඡායාරූප වෙනුවෙන් ඒවායේ මුල් හිමිකරුවන්ට අපගේ කෘතඥතාව)

 

views

1420 Views

Comments

arrow-up