බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි

බර්මියුඩා ත්‍රිකෝණය ගැන කිව්වම අහල නැති අය ඉන්නවනං එ් ඉතාමත් සුළු පිරිසක්. ඇමරිකාවේ ෆ්ලොරිඩා තුඩුවත්,පෝටෝ රීකෝ දූපතත්,බර්මියුඩාවත් යා කරමින් රේඛා තුනක් ඇඳි විට ආවරණය වන ත්‍රිකෝණාකාර කලාපය බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වයි.


දෙවන ලෝක යුධ සමයේ සිටම මෙම ප්‍රදේශය තුල සිතා ගැනීමට නොහැකි අමුතුම කාලගුණික විපර්යාස වලටත් හදිසියේ ගුවන් යානා,බෝට්ටු හා නෞකා අතුරුදහන් වීම් වලටත් නම් දරා තිබෙනවා.බර්මියුඩා ත්‍රිකෝණයට යක්ෂයාගේ ත්‍රිකෝණය යන අනවර්ථ නාමය පාවා භාවිතා කරන්නේත් මේ හේතුව නිසයි.බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන්නේ මොකද්ද යන කාරණය පිළිබඳව මෙතෙක් කාලයක් විවිධ මත පලවුණා.විවිධ කාලගුණික විපර්යාස,එකවර ඇති වන මහා දිය සුළි ආදී ස්වභාවික දේ ගැන වගේම මෙහි පිටසක්වල ජීවී ක්‍රියාකාරීත්වය පවතින බව ඇතුලු අමුතුම පැහැදිලි කිරීම් බොහොමයකුත් මේ වෙනුවෙන් පලවුණා.
කෙසේ වෙතත් මේ කිසිවක් හරි ආකාරව තහවුරු කරගන්න ලැබුනේ නැහැ.එ්ත් අද වන විට මෙයට,කාටත් පිළිගත හැකි හරි ආකාර විද්‍යාත්මක සාක්ෂි සහිත පැහැදිල කිරීමක් ලැබිල තියෙනවා.කීර්තිමත් විද්‍යාඥයින් රැසක් එකතු වී මේ ප්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ ඇති වූ කාලගුණික දත්තවල චන්ද්‍රිකා චායාරූප විශ්ලේෂණයට ලක් කිරීමෙන් තමයි මේ විසඳුම ලබා ගෙන තියෙන්නේ.වසර 70කටත් වඩා කාලයක් පුරාවට කාටත් අභිරහසක්ව පැවතුන බර්මියුඩා ත්‍රිකෝණය ගැන හෙලි දරවු වූ කතාව තමයි මේ.


බර්මියුඩා ත්‍රිකෝණයේ මේ අභිරහස් හැසිරීම් ගැන මුල් වරට කාගෙත් අවදානය යොමු වුණේ වර්ෂ 1945දී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ටෝපිඩෝ වර්ගයේ බෝම්බ හෙලන යානා 5ක් කිසිම තොරතුරක් නැතිව එක වරම අතුරුදහන් වී යාමත් සමගයි.රේඩාර් තාක්ෂණයේ මුල් යුගය වූ එ් කාලයේ දුරස්ථ ගුවන් යානා අතර සම්බන්ධතාව පවත්වා ගත්තේ රේඩියෝ පණිවුඩ භාවිතයෙන්.වරින් වර තම අක්ශාංශ දේශාංශ දැනුම් දෙමින් පියාසර කල මෙම යානා ඊලඟ වාරයේදී තම පණිවුඩ නො එවීමත් සමගම ගුවන් හමුදාව ඔවුන් සමඟ සම්බන්ධ වන්න බොහෝ වාරයක් උත්සාහ කළා.එ් වන විටත් නාසි හමුදාව යුද්ධයෙන් පරාජය වී තිබූ නිසාත් යානා අතුරුදහන් වූයේ ඇමරිකානු වෙරළ ආසන්නයේ නිසාත් මෙය සතුරු ප්‍රහාරයක් වීමට කිසිඳු ඉඩක් නොමැති බව තමයි කාගේත් අදහස උනේ. කෙසේ නමුත් එ් යානා 5 සෙවීමට තවත් යානයක් ඇමරිකානු ගුවන් හමුදාව විසින් පිටත් කර හැරියා.පසුව එම යානයත් එම ඉසව්ව තුලදීම අතුරුදහන් උනා.කාලයත් සමඟ මෙවැනි අනතුරු බොහෝ සිදු වුණා.
තාක්ෂණය එතරම් දියුණු නැති එ් කාලයේ සිදු වූ සිදුවීම් පැහැදිලි කරන්න අපහසු උනත්,GPS,සිය ගණනක් වූ කාලගුණික චන්ද්‍රිකා ඇතුලු නවීන තාක්ෂණික ක්‍රම සියල්ලම තිබියදී පවා එවැනි සිතා ගැනීමටවත් නොහැකි අනතුරු සිදු උනා.ඒ අතරින් ඉතාම මෑත කාලයේ සිදු උන අනතුර තමයි 2015 ඔක්තොම්බර් 15 වෙනිදා එලිෆාරෝ නැමති ඇමරිකානු නෞකාවක් බර්මියුඩා ත්‍රිකෝණය තුලදී අතුරුදහන් වීම. පසුව දින 30ක අසීරු මෙහෙයුමකින් පසුව එම නෞකාව මුහුදු පතුලේ තිබී හමු උනා.පසුව සිදු කල පරීක්ෂණ වලට අනුව මෙය ,එම දිනයේ මුහුදේ පැවති ජෝකුවීන් නැමති සුළි කුණාටුව නිසා ගිලී යන්නට ඇති බවට සැක පළ කෙරුණා.නමුත් එම නැවෙහි කුණාටුවකින් සිදුවන තරමේ අනතුරක් තිබූ නොවූ බවටත් විවිධ කට කතා පැතිරුණා.
ගුවන් යානයක් බර්මියුඩා ත්‍රිකෝණය තුල අවසන් වරට අනතුරට පත් උනේ 2007 වසරේදීයි.එ් කුඩා ගුවන් යානයක්, බර්මියුඩා ත්‍රිකෝණය හරහා පියාසර කරමින් තිබියදී එක වරම අතුරුදහන් වීමයි.


මේ සිදුවීම් නිසා සිදු වුනේ කුමකදැයි තේරුම් ගැනීමට අැමරිකාවේ කොළරාඩෝ විශ්ව විද්‍යාලයෙන් පරීක්ෂණයක් අරම්භ කරනු ලැබුවා.එ් සඳහා ලොව වටා විද්‍යාඥයින් විශාල පිරිසක් එකතු වූ බවටත් වාර්තා වෙනවා. බර්මියුඩා අභිරහසට ඇති සෑම පැහැදිලි කිරීමක්ම මොනතරම් පිළිගත නොහැකි උවත් හැකි තරම් සියුම්ව විශ්ලේෂණය කරන්නටයි ඔවුන් කටයුතු කළේ.එල්ෆාරෝ නෞකාවේත්,2007 වර්ෂයේ අතුරුදහන් වූ යානාවලත් අවසන් වරට පටිගත වූ පණිවුඩ විශ්ලේෂණය කරපු ඔවුන් අදාල දින වල කාලගුණික චන්ද්‍රිකාවල චායාරූප සමඟ චායාරූප සමඟ එ්වා සන්සන්දනය කරා.පිටසක්වළ ජීවීන් ඇතුළු අස්වාභාවික මත ඉවත් කිරීමෙන් පසුව ඔවුන් සියල්ලන්ගේම එ්කමතික තීරණය උනේ,යම් ආකාරයක සුවිශේෂී කාලගුණික තත්වයක් නිසා මේ සියළු අනතුරු සිදුවන්නට ඇති බවයි.


එ් අනුව කාලයක් පුරාවට මේ ප්‍රදේශයේ කාලගුණික දත්ත විශ්ලේෂණය කර බැලූ ඔවුන්ට අමුතුම විදිහේ වළාකුළු හැසිරීමක් දක්නට ලැබුණා.වෙන කිසිම තැනක දැක ගන්නට නොහැකි විදිහක ෂඩස්‍රාකාර වළාකුළු සැකැස්මක් තමයි එහි පෙනෙන්න තිබුණේ.20Km සිට 55Km දක්වා විෂ්කම්භයකින් සහිතව කාලෙන් කාලෙට එම වළාකුළු බොහොමයක් කාලගුණික චන්ද්‍රිකා වල දක්නට ලැබුණා.බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වීමක් සිදු වූ සෑම දිනකම වගේ එවැනි තත්වයක් දක්නට ලැබුණා.සාමාන්‍යයෙන් වළාකුළු වලට ෂඩාස්‍රයක් වගේ සෘජු පැති සහිත හැඩයක් ලබා ගන්න කිසිම හැකියාවක් නැහැ.කෙසේ වෙතත් මේ නිගමනය යම් හේතුවක් නිසා බර්මියුඩා ත්‍රිකෝණයට බල නොපාන බව තමයි පෙනී ගියේ එකිනෙකට අංශක 120 ක කෝණයකින් පිහිටා ඇති මේ වගේ ෂඩස්‍රාකාර කෙළවරකපැයට සැතපුම්170ක් තරම් වේගයෙන් පහළටට ගමන් කරන සුළං ප්‍රවාහ ඇති විය හැකි බවටත්,එය මුහුදු පෘෂ්ඨයේවැදීමත් සමඟම අඩි 45ක් උසට ක්ෂණික රැළි ඇතිවිය හැකි බවටත් ඔවුන්ගේ පරිගණක මොඩල වලින් දැකගන්න ලැබුණා.ක්ෂණිකව ඇති වී නැති වී යන මේ වගේ තත්වයකදී ගුවන් යානයකට හෝ කුඩා නෞකාවකට කිසිත් කරගත නෙහැකි වන බවද මෙයින් පෙනී ගියා.


කොහොම නමුත් අදාළ වපසරිය තුල ගුවන් යානයක් තිබුණොත් එය මුහුදට කඩා වැටෙන බවත් නෞකාවක් තිබුණොත් එය මුහුද තුල ගිලී යන බවත් පෙනී ගියා.මේ අනුව බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳිමට ඇති එකම දැනට පිළිගෙන ඇති මතය ලෙසට තමයි මෙය සැලකෙන්නේ. එ් සඳහා ඇති විද්‍යාත්මක සාක්ෂි මෙන්ම,භෞතික සාක්ෂිත් භෞතික විද්‍යාත්මක නියමත් හොඳින් ගැලපීම නිසාබර්මියුඩාවේ රහස විසඳු බවට අදාළ විද්‍යාඥයින් ප්‍රකාශ කළා.

 

 

 

 

 

 

 

views

1579 Views

Comments

arrow-up