වෙළෙඳපොළ විෂමාචාර පිළිබඳව ඔබ දැනුවත්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

වෙළෙඳපොළ විෂමාචාර පිළිබඳව ඔබ දැනුවත්ද?

වෙළෙඳපොළ විෂමාචාර පිළිබඳව ඔබ දැනුවත්ද?

වර්තමාන වෙළෙඳපොළ ඉතා තරගකාරී සහ සංකීර්ණ ස්වභාවයක් පෙන්නුම් කරයි. විවිධ වෙළෙඳ නාමවලින් භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන ආයතන රාශියක් දක්නට ලැබෙන අතර එම ආයතන අතර සමජාතිය නිෂ්පාදන සැපයුම්කරුවන් ද දක්නට ලැබේ. වෙළඳපලක් තුළ විවිධ උපාය මාර්ග ද ක්‍රියාත්මක වේ. අනෙකුත් සැපයුම් කරුවන් අභිබවා තම භාණ්ඩ හා සේවා ලබා දී ආදායම වැඩිකර ගැනීමට සැපයුම්කරුවන් දැඩි පරිශ්‍රමයක් දරන අතර සමහර සැපයුම්කරුවන් විසින් වැරදි ක්‍රියා මාර්ග හරහා අයුතු ලාභ ඉපයීමට ද කටයුතු කරනු ලැබේ. එවැනි යුක්ති සහගත නොවන ක්‍රියාමාර්ග වෙළෙඳපොළ විෂමාචාර ලෙසින් හැඳින්වේ.

 

නිතරම සිදුවන එවැනි වෙළෙඳපොළ විෂමාචාරයන් කිහිපයක් පිළිබඳව මෙම ලිපිය හරහා ඔබ දැනුවත් කෙරේ. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට රජය පනවා ඇති නීතිරීති අනුව සෑම වෙළෙඳ ආයතනයකම භාණ්ඩ වල විකුණුම් මිල පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු අතර සමහර වෙළෙන්දන් එසේ නොකර භාණ්ඩයේ නියමිත මිලට වඩා වැඩි මුදලක් පාරිභෝගිකයන්ගෙන් අයකරනු ලැබේ. එය වර්තමානයේ දී බහුලව දක්නට ලැබෙන වෙළඳපල විෂමාචාරයකි. තවද ඇසුරුම්වල දක්වා ඇති ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇසිරීම හෝ කිරුම් මිනුම් අවස්ථාවේ නියමිත බර අඩු කිරීම නිතරම සිදු කරන වෙළඳ විෂමාචාරයකි. එමෙන්ම ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදන ගුණාත්මක නිෂ්පාදන සමඟ මිශ්‍ර කර අළෙවි කිරීම ද නිතර සිදු කරන විෂමාචාරයකි. උදාහරණයක් වශයෙන් ඉවත දැමිය යුතු කසල තේ ගුණාත්මක තේ සමඟ මිශ්‍ර කර විකිණීම පෙන්වා දිය හැක.

 

ඇතැම් වෙළෙන්දන් විසින් ලේබලයේ ලකුණු කර ඇති කල් ඉකුත්වන දිනය නැවත වෙනස් කර විකිණීම මෙන්ම අවබෝධයක් නොමැති ගැනුම්කරුවන්ට කාලය ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීමද බහුල ව සිදු කරනු ලබයි. මාරුකාසි තිබියදීම හිතාමතාම ඉතිරි මුදල් නොදී සිටීම ද බොහෝ වෙළෙඳුන් විසින් සිදුකරන වෙළඳපල විෂමාචාරයක් වන අතර සමහර වෙළෙන්දන් විසින් ඉල්ලුම්කරුට අනවශ්‍ය ටොෆි, සීනි බෝල වැනි භාණ්ඩ ඉතිරි මුදල් වලට හිලව් කිරීමක්ද දක්නට ලැබේ. තවත් බහුලව දැකිය හැකි වෙළඳපල විෂමාචාරයක් වන්නේ බිල් පතක් ලබා නොදීම මගින් වැඩි මුදලක් පාරිභෝගිකයාගෙන් භාණ්ඩ සඳහා අයකර ගැනීමයි. එළවළු වැනි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අයකරන මුදල දැනගැනීමට ක්‍රමයක් නොමැති නිසාවෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වේ.

 

සමහර විකුණුම්කරුවන් භාණ්ඩ සඟවා තබා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති කිරීමෙන් මිල ඉහළ දැමීමට ද උත්සාහ කරන අවස්ථා බොහෝමයක් වර්තමානයේ දී වාර්තා වී තිබේ. භාණ්ඩ සඟවා තැබීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර එමගින් පාරිභෝගිකයන් මහත් අපහසුතාවයන්ට මුහුණ දෙයි. වෙළෙඳ පොළෙහි බහුලව සිදුවන මෙවැනි විෂමාචාර නිසා පාරිභෝගිකයන් සූරා කෑමට ලක් වේ. වෙළෙඳපොළ විෂමාචාර සිදුකරන ආකාරය දැන ගැනීමෙන් ඔබට අනාගතයේදී බුද්ධිමත්ව කටයුතු කරමින් කාර්යක්ෂම පාරිභෝගිකයකු වීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

2056 Views

Comments

arrow-up