සරණාගත කඳවුරකින් පැමිණ ලෝක සිනමාව ජය ගත් උත්සහවන්තයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

සරණාගත කඳවුරකින් පැමිණ ලෝක සිනමාව ජය ගත් උත්සහවන්තයා

සරණාගත කඳවුරකින් පැමිණ ලෝක සිනමාව ජය ගත් උත්සහවන්තයා

95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන 7ක් දිනා ගනිමින්  Everything Everywhere All at once චිත්‍රපටය ලොව පුරා ජනාදරය දිනා ගැනීමට සමත් විය. එම චිත්‍රපටයේ රංගන දායකත්වය සැපයූ Ke Huy Quan විසින් හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නට සමත් වීම සුවිශේෂී සිද්ධියකි.

 

ඔහු මෙසේ ජයග්‍රහණය හිමි කර ගැනීම සුවිශේෂී සිද්ධියක් වන්නේ උපතින් වියට්නාම ජාතිකයෙකු වන Ke Huy Quan සරණාගත කඳවුරක සිට මෙම තත්ත්වට පැමිණි රංගන ශිල්පියෙක් වන බැවිනි.

 

 උපතින් වියට්නාම ජාතිකයෙකු වූ Ke Huy Quan 1971 වර්ෂයේ අගෝස්තු මස 20 වන දින මෙලොව එළිය දුටුවේය. ඔහු ගේ පවුලේ සහෝදර සහෝදරියන් 8 දෙනෙකු සිටි ඇති අතර  1978 වර්ෂයේදී වියට්නාමය හා කාම්බෝජය අතර ඇති වූ යුදමය තත්ත්වය හේතුවෙන් ඔවුන් තම මව්බිම අතහැර පළා ගිය බව වාර්තා වේ.

 

මෙම ගමනේදී ඔහුගේ පියා ඔහුගේ සහෝදරයින් 5 දෙනෙකු සමග මැලේසියාවට පළා ගොස් තිබූ අතර Quanගේ මව පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සමග හොංකොං බලා පළා ගිය බව ඔහු කියා සිටියි. සරණාගත කඳවුරක වසරක කාලයක් ගත කළ Quanගේ පවුලේ සාමාජිකයින් සියළු දෙනා නැවත එකට එක් වූයේ 1979 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඇමරිකාවේ නව පදිංචියත් සමගයි.

 

එවකට ඔහුගේ වයස අවුරුදු 12දී සිය දිවියේ පළමු රංගනය ලෙස රිදී තිරයට එක් වූයේ ශ්‍රී ලංකාවේද රූගත කිරීම් සිදු කළ Indiana Jones and the Temple of Doom චිත්‍රපටයෙනි. ඔහු චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ හැරිසන් ෆෝඩ් සමග රංගනයෙන් දායක විය.

 

Indiana Jones and the Temple of Doom චිත්‍රපටයෙන් පසු Ke Huy Quan හොලිවුඩයේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ස්ටීවන් ස්පීල්බර්ග් ගේ සංස්කෘතික චිත්‍රපටයක් වන The Goonies හි රංගනයෙන්ද දායක විය.

 

මෙම චිත්‍රපට දෙකෙන් පසු Quanගේ රංගන දිවිය චිත්‍රපට කිහිපයකට සීමා විය.

 

1998 වර්ෂයේදී රංගන දිවියෙන් ඈත් වූ Quan සහය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි සරසවියක පාඨමාලාවක් හදාරමින් සිය උපාධිය සම්පූර්ණ කර ගනු ලැබීය. ඉන්පසු 2018 වර්ෂය දක්වා චිත්‍රපට සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු නැවත රංගනයට එක් වූයේ Crazy Rich Asians චිත්‍රපටය හරහා ය.  ඒ සිය රංගන දිවියෙන් ඉවත් වී වසර 20කට පසුව වීම විශේෂත්වයකි.

 

Crazy Rich Asians  චිත්‍රපටයෙන් පසු Ke Huy Quan සිය ජීවිතයේ සුවිශේෂී කඩඉමක් වූ  Everything Everywhere All at once චිත්‍රපටයට රංගනයෙන් එක් විය. කෙසේ වුවද චිත්‍රපටයේ රූගත කිරීම් අරඹා කෙටි කලකින් එය අත්හිටුවීමට සිදුවූයේ ලොව පුරා කොවිඩ් වසංගතය පැතිරී යාම හේතුවෙනි.

 

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවසට වී කල් ගත කළ Quan හට ඔහුගේ සෞඛ්‍යය රක්ෂණය පවා අහිමී තිබූ බව ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියි.

 

වයස අවුරුදු 12 දී සිනමාවට පැමිණි ඔහු සිය රංගන දිවිය වෙනුවෙන් ලැබුණු ඉහළම සම්මානය දිනා ගැනීමට සමත් වූයේ Everything Everywhere All at once චිත්‍රපටයේ  Waymond Wang චරිතය වෙනුවෙන් කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙනි. එය ඔහුගේ රංගන දිවියේ උදා වූ සුන්දරතම මොහොත බව ඔහු කියා සිටි. හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය සමග ඔහු ඉතිහාසගත වූයේ එලෙස සම්මානයට පාත්‍ර වූ පළමු වියට්නාම් ජාතිකයා ලෙස වීම තවත් විශේෂත්වයකි.

 

සම්මානය ලැබීමෙන් පසු සංවේදී කතාවකින් සංවේදිව සභාව අමතමින් මෙලෙස කියා සිටියේ ය.

‘මගේ අම්මාට වයස අවුරුදු 88යි. ඇය ගෙදර ඉදන් බලාගෙන ඉන්නවා.  අම්මේ, මට ඔස්කාර් සම්මානයක් ලැබුණා..!’

මගේ ගමන ආරම්භ වූනේ බෝට්ටුවකින්. මම සරණාගත කඳවුරක අවුරුද්දක් ගත කළා. කොහොමහරි මම හොලිවුඩයේ ලොකුම වේදිකාවට ආවා.

 

මෙවැනි සිදුවීම් සිදුවන්නේ චිත්‍රපටවල පමණක් බව ඇතැමුන් පැවසුවත් එය මට සිදු වූ බව විශ්වාස කිරිමට අපහසුයි.  ඇත්තටම මෙය ඇමරිකානු සිහිනයයි.

 

මගේ ජීවිතයේ ආදරයට මම  ණයගැතියි. මගේ බිරිඳ එකෝ අවුරුදු 20ක් පුරා හැමදාමත් මට කීවේ දවසක මගේ කාලය එනවා කියායි.

සිහින යනු ඔබ විශ්වාස කළ යුතු දෙයක්. මම මගේ සිහින බොහෝ දුරට අත්හැරියා. නමුත් මම ඔබට කියනවා ඔබේ සිහිනය සජීවීව තබාගන්න.

 

‘‘මාව නැවත පිළිගත්තාට බොහෝම ස්තූතියි’’

views

351 Views

Comments

arrow-up