චොකලට් කන්න ආස හැමෝටම චොකලට් ගැන තොරතුරු ගොඩක්

වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් ප්‍රිය කරන චොකලට් වල නොදන්න තොරතුරු වගේම ලබා ගත හැකි ප්‍රයෝජනත් ගණනාවක් ඇත. චොකලට් ප්‍රභේද රාශියක් මේ වනවිට ලෝකයට හඳුන්වා දී තිබෙන අතරම අන් බොහෝ ආහාරයන්ට සාපේක්ෂව චොකලට් මිනිසුන්ගේ ජීවිත සමග බැඳී ඇති බවක් දක්නට ලැබේ. විශේෂයෙන්ම තරුණ පිරිස්, කුඩා ළමුන් චොකලට් තමන්ගේ ජීවිතයේ විවිධ සැමරීම් අවස්ථා වලදී අත්‍යවශ්‍යම අංගයක් බවට පත් කරගෙන තිබෙන අයුරු දැකගත හැක. නමුත් තමන් ඉතාමත් ප්‍රිය කරන, මුදල් වැය කරන මේ ජනප්‍රිය ආහාරය ගැන බොහෝ දෙනෙක් හරිහැටි දැනුවත්භාවයක් ලබා නොමැති වීම ඇතැම් විට සෞඛ්‍යමය ගැටලු ඇතිකිරීමට හේතු වේ.
චොකලට් යනු මෑතකාලීන සොයාගැනීමක් නොවේ. මිනිසා විසින් කොකෝවා පරිභෝජනය කිරීමට අදාල පැරණිතම ලිඛිත සඳහන ක්‍රිස්තු පූර්ව 450 දී පමණ මෙසෝ ඇමරිකාවට අයත් එකකි. එහි සඳහන් වන ආකාරයට මෙසෝ ඇමරිකානු ප්‍රභූන් කොකෝවා සාරයෙන් පානයක් භාවිතා කර ඇති අතර එය බොහෝ සෙයින් වර්තමානයේ අප රස විඳින චොකලට් පානයන්ට සමානය. චොකලට් වලට තිබී ඇති ඉල්ලුමද අද මෙන්ම එදාද නොවෙනස්ව පැවත ඇත. මෙසෝ ඇමරිකානු මුදල් ඒකකයක් ලෙස කොකෝවා භාවිතා කර තිබීමෙන් එය සනාථ වේ.
තවද චොකලට් පිළිබඳව සඳහන් බොහෝ පැරණි වාර්තා පවසන ආකාරයටම වර්තමානයේ සිදු කරන ලද පරීක්ෂණ වලදීත් චොකලට් පරිභෝජනයෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකි බව තහවුරු වී ඇත. කෙටියෙන්ම පැවසුවහොත් චොකලට් අපේ ශරීරයේ රුධිර ගමනාගමනය වැඩිදියුණු කිරීමට ඉවහල් වේ. එලෙස මොළයට හොඳින් රුධිරය ගමන් කිරීම සමස්ත ශරීරයේ ක්‍රියාකාරීත්වයට වැදගත් වනවා මෙන්ම සමට හොඳ රුධිර සැපයුමක් ලැබීම නිරෝගී, පැහැපත් සමකට හේතු වේ. මීට අමතරව අධි රුධිර පීඩනයටත්, ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම අඩුකරමින් හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩිකිරීමටත් චොකලට් ඉතා හොඳ ආහාරයක් ලෙස සැලකේ. මේ හේතූන් නිසා චොකලට් නිසැකයෙන්ම හෘද රෝග සඳහාත් අනුමත කළ හැකි ආහාරයක් බවට පත් වේ. තවදුරටත් මේ අරුම පුදුම චොකලට් වල ප්‍රයෝජන පිළිබඳ කතා කළොත්, මෙහි ඉතා විශිෂ්ට ප්‍රතිඔක්සිකාරක ගුණයක් මෙන්ම Ca, Fe, K, P, Mg වැනි ශරීරයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ගණනාවකුත් අන්තර්ගත බව සඳහන් කළ හැකියි.
ඉහත සඳහන් කළ බොහොමයක් ප්‍රතිලාභ හැරුණු විට චොකලට් වල වැදගත්ම ප්‍රතිලාභය වන්නේ එයට සතුට ඇතිකිරීමට හැකියාවක් තිබීමයි. විද්‍යානුකූලව ගත් විට සතුටු හැඟීම අපට දැනෙන්නේ මොළයෙන් නිකුත් වෙන neurotransmitters මගිනි. එවැනි ප්‍රබල neurotransmitter එකක් ලෙස හැඳින්වෙන serotonin මොළයෙන් ස්‍රාවය වීම චොකලට් පරිභෝජනය මගින් වැඩිදියුණු වන බව නවතම පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත.
නමුත් මෙහි ගත යුත්ත වන්නේ අප ආහාරයට ගන්නා සෑම චොකලට් වර්ගයකම මෙම සඳහන් කළ ගුණාංග අන්තර්ගත නොවන බවත් නියමිත කොකෝවා සාන්ද්‍රණය අඩංගු කොට නිෂ්පාදනය කර ඇති චොකලට් භාවිතයෙන් පමණක් මේ ප්‍රතිලාභ ලබා ගත හැකි බවත්ය. Dark chocolate නැතහොත් කළු චොකලට් මෙම ගුණාංග දරන බවට ආහාර විශේෂඥයන් නිර්දේශ කර ඇත. මීට අමතරව චොකලට් යනු ප්‍රධාන ආහාරයක් නොවන බැවින් සහ කොකෝවා වලද යම්කිසි මේද හා කැලරි ප්‍රමාණයක් අඩංගු වන බැවින් එය පරිභෝජනය කළ යුතු සීමාව පිළිබඳව දැනුවත් වීම වැදගත්ය. කෙසේ නමුත් දිනකට 30g - 50g අතර ප්‍රමාණයක් මිනිස් සිරුරට අහිතකර නොවන බවට ලබා දී ඇති තක්සේරුව චොකලට් රසිකයන්‍ට සතුට ගෙන දෙන ආරංචියක් වනු නියතය.
497 Views
Comments