රංගනයේ සතුට අත්විඳින සොඳුරු යුවතිය - ක්‍රිෂී ඩියානා

ආයුබෝ වේවා හැමෝටම.
මේ සතියෙත් ඔන්න අපි ආවා ඔබ හමුවට, තවත් සුන්දර, හැඩකාර, ඒ වගේම දක්ශතා වලින් පිරිපුන් තරුණ කලා ශිල්පිනියක් එක්ක, පුංචි පිළිසඳරක යෙදෙන්න.
ඉතින්, ඇය කවුද කියලා අපි කියනවට වැඩිය හොඳයි, ඇය ගැන ඇයගෙන්ම අහන එක කියලා අපිට හිතුනා.
ඒ නිසා අපි ඇය ගැන අහමු, ඇයගෙන්ම.
මුලින්ම ආයුබෝ කියලා පිළිගන්නම් ඇයව.
ඉතින්, කොහොමද ජීවිතේ.
- ම්ම්ම්.... හොඳයි....
විස්තර ටිකක් කියමු නේද?
- හරි. මම ක්‍රිශී ඩියානා. පදිංචි වෙලා ඉන්නේ කැළණියේ. සහෝදර සහෝදරියන් අට දෙනෙක් ඉන්න ලොකු පවුලක මං තමයි හත් වෙනියා. මං රංගන ශිල්පිණියක් වෙන එක ඇත්තටම මගේ අම්මගේ ආසාවක් මුලින්ම.
ඇය දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් මම අම්මගේ වගේම මගේ ආසාව ඉටු කරන ගමන් හොඳ හරවත් නිර්මාණ වලට දායක වෙමින් හෙමින් ගමනක් යනවා.
හොඳයි... ඩියානා, කොහොමද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ? මොනවද ඔබ සම්බන්ධ වුණ නිර්මාණ. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඔයා රංගනයට වගේම තවත් දේවල් වලටත් ගොඩක් දක්ෂයි කියලා. ඒ දේවල් ගැනත් අපි කියමු.
- මම 2019 අවුරුද්දේ අන්තිම හරියේ ජාතික රූපවාහිනියේ විකාශය වුණ "ක්‍රයිම් සීන්" ටෙලිනාට්‍යයෙන් තමයි ක්ෂේත්‍රයට ආවේ.
ඊට පස්සේ සක්කාරං කියන ටෙලි නාට්‍යයට මට ආරාධනාවක් ලැබුණා. ඒක අපූරු අවස්ථාවක් මට ලැබුණු. මොකද කැපී පේන යමක් කරන්න පුළුවන් හොඳ චරිතයක් තමයි මට ලැබුණෙ ඒ ටෙලිනාට්‍යයෙ, රං එතනා කියන චරිතය. ඒකෙන් තමයි ගොඩක් දෙනා මාව අඳුනා ගත්තෙ රංගන ශිල්පිණියක් විදිහට.
හරි. ඊට පස්සේ...?
- ම්ම්ම්.. ඊට පස්සේ ඉතිං මට ගොඩක් ආරාධනා ලැබුණ නිර්මාණ වලට. දැනට මම රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය වලින් සකල ගුරු, හද විල අරණ, ඉඟි බිඟි කියන ටෙලිනාට්‍ය පුංචි තිරයේ විකාශය වෙලා තියෙනව. ඒ වගේම තවත් ටෙලිනාට්‍ය හයක් ඉදිරියේදි විකාශය වෙන්නට නියමිතයි.
ඊට අමතරව බිඳුණු සිතුවම් කියන කෙටි චිත්‍රපටයට සහ යූ ටියුබ් කමර්ෂල්ස් කීපයකටත්, මියුසික් වීඩියෝ කීපයකටත් රංගනයෙන් දායක වුණා.
හරි. අර අනික් දේවල් ගැනත් ටිකක් කියමු එහෙනම්.
- ආ... තව මම රංගනයට අමතරව නිවේදිකාවක් විදිහටත්, හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් වැඩකටයුතු කිහිපයකට දායක වෙලා ඉන්නව. රංගනයට වගේම ඒ ක්ෂේත්‍ර දෙකටත් මම ගොඩක් කැමතියි.
හොඳයි. ඉතින් ඩියානා, මේ දවස් වල මොකද වෙන්නෙ?
ම්ම්ම්... මේ දවස් වල ෂූටිං නම් නැහැ. රංගනයෙන් දායක වෙන අලුත්ම ටෙලිනාට්‍යයෙ පළවෙනි අදියරේ රූගත කිරීම් පහුගිය දවස් වල අවසන් වුණා. අලුත් වැඩ භාර ගත්තෙ නැහැ මොනවත්.
ටිකක් විවේකීව තමයි ජීවිතය ගත වෙන්නෙ. ඒ නිසාම මගේ තවත් හීනයක් වුණ මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න එකට චුට්ටක් යොමු වුණා. පොඩි ව්‍යාපාරයක්, ඇත්තටම පුංචිම පුංචියට පටන් ගත්තෙ. ඉතින් ඒකේ වැඩකටයුතුත් කරගෙන ඉන්නව.
හොඳයි. කලාවෙන් ඔබට ලැබුණු දේවල් මොනවද, සහ කලාවෙන් ඔබ මේ වෙනකොට ඉන්න තැන ගැන ඔබ තෘප්තිමත් ද? ඒ ගැනත් චුට්ටක් කතා කරමු.
ඔවු, ඇත්තෙන්ම, මගේ හීනයට යන්න මං අඩිතාලම දමා ගනිමින් ඉන්නෙ තවම. පටන් ගත්තු තැන දිහා ආපහු හැරිල බලනකොට දැන් මාව ගොඩක් අය අඳුනනව ඉස්සරට වඩා. මං කියන්නෙ ප්‍රේක්ෂකයො.
මට ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලැබෙනව. මාව අගය කරන පිරිසක් ඉන්නව. ඇත්තටම ඒක ලොකු සතුටක් වගේම ලොකුම ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නෙ.
අනික් අතට, කලාවෙන් ලැබුණු දේවල් ගැන කතා කරනව නම්, කලාවෙන් මට ලැබුණු ලොකුම දේ තමයි මානසික සතුට. රංගනය කියන දේ ඇතුළෙ අනික් හැම දේම දිය වෙලා ගිහින් ලොකු මානසික නිදහසක් වගේම තෘප්තිමත් භාවයක් අත්විඳිනව මම. හොඳ නිර්මාණයකට දායක වෙලා, ඒක දිහා ආපහු හැරිල බලනකොට ඒ ලබපු තෘප්තියත් එක්ක හිතේ ලොකු සතුටක් ඉතුරු වෙනව. ඒක තමයි මං හිතන විදිහට කලාවෙන් මං ලබපු සහ ලබන ලොකුම දේ.
හොඳයි. ඉතින් අපි අවසානයට එමු, ඩියානා..., ලොකු සතුටක් මෙහෙම ඔබේ ආලින්දයට ගොඩ වෙන්න ලැබුණ එක. ඔබ දුර ගමනක් යන්න හීන මවන, ගොඩක් බලාපොරොත්තු තියෙන කෙනෙක් බව තේරෙනව ඔබත් එක්ක කතා කරනකොට. ඔබේ ඒ අනාගත බලාපොරොත්තු ගැනත් චුට්ටක් කියමු ඔබේ රසික රසිකාවියන් වෙනුවෙන්.
ම්ම්ම්.. මෙහෙමයි. ඇත්තෙන්ම බලාපොරොත්තු ගොඩක් තියෙනව. රංගනය පැත්තෙන් නම් ලොකුම හීනය තමයි හොඳ දක්ෂ රංගන ශිල්පිණියක් වෙන එක. ජනප්‍රිය නෙවෙයි. ජනප්‍රියත්වයත් ඕනෙ තමයි. ඒත්, අපි ඇත්තටම දක්ෂයි නම් අපි නිරතුරුවම අපේ දක්ෂතා දියුණු කරගනිමින් හොඳ දෙයක් කරන්න කැප වෙනව නම් ජනප්‍රියත්වය නිරායාසයෙන්ම අපි ළඟට එනව, මං හිතන්නෙ.
ඉතින්, මට ඕනෙ ක්‍රිෂී ඩියානා කිව්වහම මිනිස්සු දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට මාව අඳුරගන්නව නම්. ඒක තමයි මගේ රංගනය පැත්තෙන් ලොකුම හීනෙ.
ඒ වගේම මං ආදරය කරන අනික් ක්ෂේත්‍ර වෙන නිවේදනය සහ හඬකැවීම් අංශ වලින් ඉදිරියට යන්නත් බලාපොරොත්තුවක් තියෙනව වගේම, දැනට මම පටන් අරන් තියෙන පුංචි ව්‍යාපාරය දියුණු කරගෙන ව්‍යාපාරික කාන්තාවක් විදිහටත් අනාගතය හදා ගන්න ආසාවක් තියෙනව.
" රංගනයට මම ආසයි, ආදරෙයි. ඒක මගේ ලොකුම හීනෙ. මං කලිනුත් කිව්ව මගේම මටත් වඩා මගේ අම්ම තමයි ඒක ගැන ආසාවෙන් හිටියෙ. ඉතින් දැන් එයා මගේ ළඟ නැති වුනත්, මං හිතනව මං එයාගෙ හීනෙත් අරන් ඉස්සරහට යන්න ඕනෙ. ඒක තමයි ලොකුම දේ "
ඒ වචන පවසන විට ඇගේ නෙත් දිළිසෙන්නට හේතුව අතීතය සිහිපත් වීමද, අනාගතය ගැන උපන් සිතිවිලිද කියා එකවර වටහා ගන්නට අපට නොහැකි විය. එහෙත්, එයට හේතුව ඒ දෙකම වන්නට ඇතැයි අපි නිගමනය කළෙමු.
තවමත් යොවුන් වියේ පසුවන, බලාපොරොත්තු රැසක් හද දරාගත් මේ සොඳුරු යුවතියට, ඇගේ සිහිනය පරිදිම අනාගතයේ කලා ක්ෂේත්‍රයේ ඉහළම තැනක වැජඹෙන ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිණියක් වන්නට වරම් ලැබේවා යි හදවතින්ම සුබපැතුම් එක් කරමින් අපි ඇයට සමු දුන්නේ යළිත් දිනෙක ඇයව හමුවන බලාපොරොත්තුවෙනි.
එදිනට ඇය, ඇය පතන සිහිනයට ළඟා වී තිබේවා යැයි ආයුබෝ අපි මුලු හදින්ම ප්‍රාර්ථනා කරමු!!!!!
(ඡායාරූප වෙනුවෙන් ඒවායේ මුල් හිමිකරුවන්ට අපගේ ස්තුතිය හිමි වේ.)
637 Views
Comments