"දිසාපාමොක් පන්හිඳ" - තෙවන කොටස

බස් එක හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන්නට වුණා.
සැරින් සැරේ තාත්තා මට විස්තර කියනවා.
"ඔන්න පුතේ මනන්පිටිය පාලම.... බස් පාරයි කෝච්චි පාරයි දෙකම එකටයි තියෙන්නෙ"
ඔහොම ඔහොම යනකොට තාර පාර ගුරු පාරක් වෙනවා. පාර දෙපැත්තේ ගෙවල් ටිකෙන් ටික පුංචි වෙනවා.
තව ටික දුරක් යනකොට ගෙවල් ඇත්තේම නෑ. කටුපඳුරු වැඩුණු භූමිය වැඩියි.
සුළඟ, දූවිල්ල ,අතරින් බස් එක ඉදිරියට ඇදෙනව. මගෙ ඇස් කඳුළු වලට ඉඩදෙනව. ඒත්, මං ඒ කඳුළු වලට එළියට පනින්න ඉඩ නොදී හිර කර ගත්ත.
"පිඹුරත්තෑව ටිකට් ඔක්කොම මෙතනින් බහින්න.. අර කන්දෙගම ඉස්කෝලෙට යන මිස්ලා මෙතනින් බහින්න"
කොන්දොස්තර මහත්තයාගේ කටහඬ බස් එකේ බෙල් එක වෙනුවට ඉස්සර වුණා.
සෑහෙන පිරිසක් ඒ බස් හෝල්ට් එකෙන් බැස්සා. තාත්තයි මමයි දෙන්නත් බස් එකෙන් බැස්සා.
"මේ මහත්තයෝ පයින් යනකොට මහවැලියෙ වාහනයක්වත් හම්බවුනොත් නැගලා යන්න පුළුවන්. ඒක විශ්වාස කරන්න අමාරුයි. කෝකටත්හොඳයි පයින්ම යන එක"
තාත්තා එක්ක කතා කරමින් සිටි කාරුණික ගැමි තරුණයෙක් එහෙම කියලා එයාගේ ගමන් මල්ල ඔළුව උඩ තියාගෙන යන්න ගියා.
මම සූට්කේස් එක පාර අයිනේ තියලා ඒක උඩ වාඩි වුණා. පේන තෙක් මානේ ඉද්ද ගැහුවා වගේ ගුරු පාර. සුළං පාරට ගුරුපාරේ අලුත දමාපු පස් කැළඹිලා ඉහළට යනවා.
"අනේ තාත්තේ, මට නම් මීට වඩා යන්න බෑ. මට ආපහු ගෙදර යන්න ඕනෑ"
යටි සිත එහෙම කීවත් ඒ සිතුවිලි වචන වලට පෙරලන්න මට පුළුවන් කමක් නෑ. මං පවුලෙ වැඩිමලා. .. නංගිලා, මල්ලිලා තවම ඉගෙන ගන්නව. මේ රස්සාව දාලා ගිහින් කොහොමද?
ඇරත් මං මේ රස්සාව ලබා ගත්තේ මොන තරම් අමාරුවෙන්ද?
කවමදාවත් ගුරුවරියක් වෙන්නෙ නෑ කියලා හිටපු මම අද තීරණාත්මක ගමනක් ඇවිත්. මගේ බුද්ධිය හදවතට තට්ටු කරමින් ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්ත.
"ඔව් මං දැන් එන දේකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන" මම සිත දැඩි කර ගත්තා.
"තාත්තෙ, එහෙනම් අපිත් පයින්ම යමු"
මම ඉස්සර වුණා. තාත්තා සූට්කේස් එක ඔලුව උඩින් තියා ගත්තා. මං පොඩි බෑග් එක කරේ එල්ල ගත්තා.
"අනන්තය" කියන වචනෙ ඉගෙනගෙන තියෙනවා. ලියන්න කියන්න පාවිච්චි කරනවා. හැබැයි පනාපිටම අනන්තය අත්දුටුවෙ එදා කියලයි මට අදත් හිතෙන්නේ.
එදා ඒ සැතපුම් තුන හතර යන්න කොච්චර කාලයක් ගත උනාද කියලා මට හරියට ම නිච්චියක් නම් නෑ. තැන් තැන්වල නැවති නැවති මහන්සි අරිමින් ගිය ගමනක්.
මහවැලි යෝජනා ක්‍රමයේ මාදුරුඔය ජලාශයට යන පාර දිගේ තමයි අපි ගමන් කළේ. පාරේ දකුණු පැත්තෙන් විශාල කැලෑවකින් වැහුණු කඳුවැටියක්.
(ඒක තොප්පිගල කන්ද කියලා දැනගත්තේ පාසලට ගියාට පස්සේ. ඒ කැලෑව ඇතුළෙ විශාල ගල් පර්වතයක් තියෙනවා කියලා දැනගත්තෙත් එහෙ ඉන්න අතරෙදි තමයි)
කොහොම කොහොම හරි පාසල ඇරෙන්න ඔන්න මෙන්න කියලා තාත්තටයි මටයි පුළුවන් වුණා පාසලට යන්න. ඒ වෙනකොට නම් අපි දෙන්නා හොඳටම හෙම්බත් වෙලා.
මීළඟ කොටසෙන් ලබන සතියේ හමුවෙමු....
පෙර කොටස බලන්න මෙතනින්
402 Views
Comments