ලංකාවේ උසින්ම පිහිටි කඳුකර ගම්මාන

නන්පෙරියල් හා නග්රැක් ගම්මාන බලංගොඩට තරමක් ආසන්නයෙන් පිහිටි මිහිදුමෙන් පිරි අපූරු සීත කඳුකර ප්‍රදේශයකි.
නන්පෙරියල් ගම්මානය මුහුදු මට්ටමේ සිට අඩි 5,000 කට වඩා උසින් පිහිටා තිබෙන අතර නැග්රැක් ගම අඩි 7,000 ක් උසින් පිහිටා ඇත.
වලාකුළු අතර සැඟවුණු මේ ගම් අධික සීතල දේශගුණයක් සහිතය. මෙවා ප්‍රවාහන පහසුකම් නැති දුෂ්කර ගම්මාන වේ.
බලංගොඩ සිට බදුල්ල පාරෙ කිලෝමීටර් 18 ක් දුරින් බෙලිහුල්ඔය පසුකළ විට ගලගම නගරය හමුවේ. එතැනින් තවත් මීටර් 500 ක් යනවිය වම් පැත්තෙන් නන්පෙරියල් වතුයායට යන පටු මාර්ගය පිහිටා ඇත. මෙහි කිලෝමීටර් 6 ක් වගේ දුරින් කඳු අතර තේවතුවලින් වටවූ නන්පෙරියල් ගම පිහිටා ඇත. ලෝකාන්තයේ සිට එම ගම දැක ගත හැකිය.
නන්පෙරියල් තේ කර්මාන්තශාලාව පිහිටි කොටසින් ඉහළට ගිය පසු උග්ගල්දූව, ඉහළ කොටස හා නන්පේරියල් කොටස්වලට මාර්ගය තැනින් තැන බෙදී යයි. මෙම මාර්ගයේ නැග්රැක් ගමට යනවිට වැලමිට වංගු 32 ක් පමණ පසුකළ යුතු ය.
නැග්රැක් ගම්මානය නිතර මිහිදුමෙන් වැසී පවතී. එහි ඇතුළුවන තැන වංගුවේ ගලක සටහන් කළ නාම පුවරුවක එතැන උස අඩි 6,990 ක් බව සඳහන් කර ඇත.
නන්පේරියල් දක්වා එන ලංගම බස් රථය නැග්රැක් ගම්මානයට නොඑන නිසා ගමේ ජනතාවට තම අවශ්‍යතා ලබා ගැනීමට කිලෝ මීටර 8 ක් කඳු නගින්න බසින්න සිදුවේ.
469 Views
Comments