වෙළදපොළේ ගෑස් හිඟයක්

රට තුළ පවතින ඩොලර් සංචිත හිඟය මත ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය සීමා කිරීමට හේතුවෙන් රට පුරා උග්‍ර ගෑස් හිඟයක් මතුව තිබේ.
මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇත්තේ කිසිදු විකල්ප විසඳුමක් නොමැතිවීම හේතුවෙනි.
ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ යාමත් සමඟම මෙරට ගෑස් සමාගම් විවිධ අවස්ථාවන් වලදී මිල ඉහළ දැමීම සඳහා රජයෙන් ඉල්ලීම් කළද ඒ සඳහා අවසර හිමිවූයේ නැත.
ඩොලර් සංචිත හිඟයත් සමඟ ණයවර ලිපි විවෘත කිරීමද සීමා කිරීම නිසාවෙන් ලාෆ් ගෑස් සමාගම පැවසුවේ ගෑස් ආනයනය කිරීම අර්බුදයකට මුහුණදී ඇති බවයි.
ඊට ප්‍රතිචාර ලෙස ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පසුගිය විසි වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කළ අතර, එමඟින් දක්වා තිබුණේ ලාෆ් ගෑස්
සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇතත් එම ඉල්ලුමද ආවරණය කිරීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකි බවයි.
ලිට්රෝ සමාගම හරහා ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදුකරන බවද සභාපතිවරයා වැඩි දුරටත් කීවේය.
කෙසේ වුවද ලිට්රෝ ගෑස් නියෝජිතයින් පැවසුවේ තමන්ට ලාෆ් ගෑස් සිලින්ඩර සඳහා ලිට්රෝ ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගමෙන් කිසිදු අවසරයක් මෙතෙක් ලබාදී නොමැති බවයි.
මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා කොළඹදී අද(04) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ වෙළඳපොලේ ගෑස් හිඟයක් නොමැති බවය.
784 Views
Comments