යතුරුපැදියක් ගන්න ඥාති සොයුරියගේ රන් බඩු ඉස්සූ සොයුරා පොලිස් දැලේ

දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රන් භාණ්ඩ සොරා ගත් සැකකරුවෙකු ලබන මාර්තු මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී. තේනබදු මහත්මිය නියෝග කර ඇත.
හොරගස්මුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මෙම සැකකරුවා පැමිණිලිකාරියගේ ඥාති සහෝදරයකු බව සඳහන් වෙයි. සැකකරු පැමිණිලිකාරිය නිවසින් බැහැරව සිටි අවස්ථාවක ජනේලයක් විවෘත කර නිවසට ඇතුළු වී සොරකම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු විසින් සොරාගන්නා ලද 8,80,000 ක් වටිනා රන් භාණ්ඩ අතරට රන්මාල දෙකක්, රන්මුදු දෙකක්, රන් අත් පළඳනා දෙකක් ඇතුළත් බව සඳහන් වේ.
රන් භාණ්ඩ ඔහු ජාඇල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට ලබා දී වෙනත් රන් භාණ්ඩ ලබා ගෙන ඇති බව පොලිසිය විමර්ශන වලදී හෙළි කරගෙන ඇත.
සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ සැකකරු එම රන් භාණ්ඩ වලට හිමිකම් නොකියන බවත් ඒවා සොරා ගෙන ඇත්තේ යතුරුපැදියක් මිලදී ගැනීමේ ආශාව මත බවත්ය.
186 Views
Comments