ප්‍රංශ සහ ජර්මානු නායකයන්ගෙන් පුටින්ට ඇමතුම්

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ඊයේ (27) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
විනාඩි අසූවක කාලයක් පමණ තිස්සේ පැවති එම සංවාදයේදී ප්‍රංශ සහ ජර්මානු නායකයන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ යුක්රේනය සමඟ වහා සටන් විරාමයකට එළඹී රුසියානු හමුදා ඉවත් කරගැනීමට පියවර ගන්නා ලෙසයි.
ඒ සඳහා යුක්රේන රජය සමඟ සාකච්ඡාවලට එළඹෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.
ජනාධිපති පුටින් එහිදී ප්‍රකාශ කර ඇත්තේ රුසියාව, යුක්රේනය සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට සූදානම් බවයි.
එහෙත් ජනපති පුටින් ඍජුවම යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කරන්නේ ද යන්න එහිදී ප්‍රකාශ කර නැහැ. යුක්රේන ජනාධිපතිවරයා මීට පෙර කියා සිටියේ අකමැත්තෙන් වුව ද යුද්ධය අවසන් කිරීම සඳහා තමා ජනපති පුටින් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
දකුණු දිග යුක්රේනයේ මරියුපොල් නගරයේ අසොව්ස්ටාල් වානේ කම්හලේදී යුද සිරකරුවන් ලෙස රඳවාගනු ලැබූ යුක්රේන ජාතික සටන්කාමීන් 2,500 කට අධික පිරිස නිදහස් කරන ලෙසද ප්‍රංශ සහ ජර්මානු නායකයන් ජනපති පුටින්ගෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම යුක්රේන ඔඩෙසා වරාය හරහා තිරිඟු අපනයනයට ඉඩ ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
රුසියානු නායකයා සඳහන් කර ඇත්තේ ලෝක ආහාර හිඟයට පිළියම් ලෙස ධාන්‍ය අපනයනයට ඉඩ ලබාදිය හැකි නමුත් ඒ සඳහා රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බවයි.
එමෙන්ම යුක්රේනයට නවීන අවිආයුධ ලබාදීම පිළිබඳවද ජනපති පුටින් බටහිර කඳවුරට චෝදනා කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ එමඟින් කලාපයේ යුද උණුසුම තවදුරටත් උත්සන්න වනු ඇති බවයි.
659 Views
Comments