ශල්‍යකර්මයක් වැරදී එක්තැන් වූ කැළණියේ "කළණි"
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ශල්‍යකර්මයක් වැරදී එක්තැන් වූ කැළණියේ "කළණි"

ශල්‍යකර්මයක් වැරදී එක්තැන් වූ කැළණියේ "කළණි"

පිත්තනාළයේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු ඔත්පලව ගිලන් ඇඳට සීමා වූ තරුණ ගුරුවරියක පිළිබඳ අවාසනාවන්ත පුවතක් කැලණිය, නාතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

28 හැවිරිදි කළණි ඉනෝෂා පෙරේරා නැමැති මෙම යුවතිය ජාත්‍යන්තර තරගවලට පවා සහභාගී වී ඇති හොකී ක්‍රීඩිකාවක් වන අතර, සබරගමුව විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා කොළඹ මියුසියස් විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන ගුරුවරියක් ලෙස තාවකාලික පත්වීම් ලැබ සේවය කරමින් සිටි කුසලතා පිරිපුන් තරුණියක් බවද වාර්තා වේ.

 

ඇය 2021 ඔක්තෝබර් 25 වනදා යම් රෝගී තත්වයක් හේතුවෙන් රාගම පෞද්ගලික රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, නොවැම්බර් 02 වනදා රාගම රෝහලට ඇතුළත් වී වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වන ලෙසට එහිදී වෛද්‍යවරයා ඇයට දැනුම් දී තිබේ.

 

එහෙත්, දින දෙකක් ඇතුළත ඇගේ රෝගී තත්වය උත්සන්න වීම නිසා, ඇයව එන්ඩෝස්කොපි පරීක්ෂණයකට භාජනය කොට ඇති අතර එම පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඇගේ පිත්තනාළයේ තිබූ ගලක් ඉවත් කිරීම සඳහා 2021 නොවැම්බර් 05 දින සැත්කමක් කොට තිබෙන බව වාර්තා වේ.

 

සැත්කමෙන් පසු සිහිය නොලැබීම හේතුවෙන් ඇය රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ද යොමුකර ඇති අතර, සැත්කමෙන් පසු ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන් ඇය මේ වනවිට ඇවිදීමට, කථා කිරීමට හෝ මුඛයෙන් ආහාර ගැනීමට හෝ නොහැකි තත්ත්වයකට පත්ව සිටී.

 

මේ සම්බන්ධයෙන් ඇගේ මවුපියන් සහ රෝහලේ බලධාරීන් අතර අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වී ඇති නමුත්, තවමත් ඇගේ ගැටළුවට නිසි විසඳුමක් ඉදිරිපත් වී නොමැති බව ඇගේ පවුලේ අය කියා සිටී.

 

මෙම සැත්කම සිදුකර ඇත්තේ පිත්තාශය සම්බන්ධ සැත්කම් කිහිපයක්ම අසාර්ථක වූ බවට පසුගිය කාලයේ බරපතල චෝදනා එල්ල වූ වෛද්‍යවරයෙකු විසින් බවට ද වාර්තා වන අතර, ඇයව විදේශයකට හෝ රැගෙන ගොස් සුවකර දෙන ලෙස ඇගේ මව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

 

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සත්කාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා කියා සිටී.
 

views

279 Views

Comments

arrow-up