ඔබත් ආහාර පිසීමේදී සැලකිලිමත් ගෘහණියක් ද?

ආහාර පිසීම සෑම ගෘහණියකටම පොදු වූ නිරන්තරයෙන්ම කළ යුතු කාර්යභාරයකි. ආහාර පිසීමේදී යම් යම් කරුණු පිළිබඳව ගෘහණියන් විසින් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. එවිට ඔබට ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් සෞඛ්‍යසම්පන්න සහ රසවත් ආහාර වේලක් තිළිණ කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.
ආහාර පිළියෙල කිරීමේදී ඔබ විසින් මුලින්ම තෝරා ගත් ආහාර අමුද්‍රව්‍ය වල අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ආහාරයට නුසුදුසු කොටස් ඉවත් කිරීමට අවධානය යොමු කළ යුතු වේ. එනම් එළවළු, පළතුරු සහ පලා වර්ග වල ආහාරයට නොගන්නා කොටස් ඉවත් කිරීමක් සිදු කළ යුතුයි. උදාහරණ- රාබු කැරට් මුරුංගා ආදියෙහි පොතු, අන්නාසි වැනි පලතුරු වල පොත්ත, පරිභෝජනයට නුසුදුසු බීජ හා කෙඳි ඇතුළු මේරූ කොටස්.
මේ සඳහා ඔබට පිහියක් හෝ සූරන උපකරණයක් භාවිතා කළ හැක. මස් සහ මාළු වර්ග වල නුසුදුසු කොටස් ඉවත් කිරීමේදී පිහියක් හෝ කොරපොතු සූරන උපකරණ වැනි ආම්පන්නයක් යොදාගැනීමට පුළුවනි. ධාන්‍ය, මාෂබෝග හෝ කුළුබඩු වල පරිභෝජනයට නුසුදුසු කොටස් එනම් වැලි වැනි අපද්‍රව්‍ය ඉවත් කිරීමට කුල්ලක්, නෑඹිලියක්, පෙනේරයක් ආදිය භාවිතා කිරීමටද පුළුවන. එමෙන්ම ආහාර පිළියෙළ කිරීමට පෙර එම සියලුම අමුද්‍රව්‍ය පිරිසිදු ජලය භාවිතා කර සෝදා ගැනීම ද ඉතාමත් වැදගත්. සේදීමෙන් පසුව පිපිඤ්ඤා සහ ගර්කින් වැනි අමුද්‍රව්‍ය වල පොතු ඉවත් කරගත හැකි වේ.
තවද ආහාර අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය සුරැකෙන පරිදි අවශ්‍ය ආකාරයට හැඩ ගැන්වීම සිදු කළ යුතු අතර මෙහිදී කැබලි, තීරු, කැට, පෙති බවට පත් කිරීමද සිදු කළ හැක. ඒ සඳහා ගෘහණියන්ට පිහියක්, පෙරන්ගාන උපකරණයක් හෝ විවිධ හැඩතල සහිත කැපුම් උපකරණයක් භාවිතා කිරීමට පුළුවනි. තවද ආහාර වට්ටෝරුවට අනුව සූදානම් කරන ලද අමුද්‍රව්‍ය වල ආවේණික වර්ණය නොවෙනස්ව පවත්වා ගැනීමටද සැලකිල්ලක් දැක්වීම වැදගත්.
එසේම කොටස් කළ පසු එම අමුද්‍රව්‍ය පරිසරයට නිරාවරණය වූ විට වර්ණ විපර්යාසවලට භාජනය විය හැක. අලු කෙසෙල්, කෙසෙල් මුව, වම්බටු වැනි එළවළු වර්ග වල සහ ඉදුණු කෙසෙල්, අඹ, පෙයාර්ස් වැනි පලතුරු වර්ග වල කැපුම් පෘෂ්ඨය පරිසරයට නිරාවරණය වීමෙන් වර්ණ විපර්යාස වලට භාජනය වේ. එනම් ඒවා දුඹුරු පැහැ ගැන්වීම හෝ කහට පිපීමක් සිදුවේ. පෙර ප්‍රතිකර්ම යෙදීම මගින් වර්ණ විපර්යාස ඇතිවීම වලක්වා ගත හැක. එනම් කපාගත් අමුද්‍රව්‍ය ජලයේ හෝ පොල් කිරි වල ගිල්වීම, දෙහිඇඹුල් පැවරීම, සීනි සිරප් වල ගිල්වීම යනාදිය එම පෙර ප්‍රතිකර්ම වේ. මෙලෙස ආහාර පිසීමට පෙර අමු ද්‍රව්‍ය නිසි පරිදි ක්‍රමානුකූලව සකස් කිරීම මඟින් ආහාරයක රසය, වර්ණය, සුවඳ, වයනය මෙන්ම පෝෂණීය බව ආරක්ෂා කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත වූ ගුණාත්මක ආහාරයක් සකස් කර ගැනීමට ගෘහණියන්ට හැකියාවක් ලැබෙනු ඇත.
1362 Views
Comments