ඒජන්සියේ ලීෆ්ලට් පෙන්නා කළ රැකියා ජාවාරම

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන බද්දේගම අභිමානි රැකියා නියෝජිතායතනයේ අත්පත්‍රිකා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් විදේශ රැකියා සදහා කාන්තාවන් බඳවාගත් නයාගොඩ, රත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.05 දින අත්අඩංගුවට ගෙන තිබේ.
තම රැකියා නියෝජිතායතනයේ අත්පත්‍රිකා සඳහා බාහිර පුද්ගලයෙකු විසින් ව්‍යාජ මුද්‍රා යොදා බෙදාහරින බවට අදාළ රැකියා නියෝජිතායතනය විසින් කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන අංශයේ නිළධාරීන් මෙම වැටලීම මෙහෙයවා තිබේ.
විමර්ශන නිළධාරීන් විසින් උපාය දූතයින් යොදවා සැකකරු වෙත දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර, එහිදී කාන්තාවන් සදහා මැදපෙරදිග රටවල රැකියා තිබෙන බවත්, ඒ සඳහා ජීව දත්ත පත්‍රිකාවන්ද රැගෙන 2023.06.06 දින හික්කඩුව දුම්රිය ස්ථානයටත් පසුව දොඩන්දූව දුම්රිය ස්ථානයට පැමිණෙන ලෙසත් දන්වා ඇත.
පසුව 2023.06.05 දින සැකකරු දුරකථන ඇමතුමක් ලබාදෙමින් විදෙස් ගතවන කාන්තාවන් වෙනුවෙන් තමන් විසින් ගාල්ල, රත්ගම දේවාලයක සවස 7.00 ට සෙත් ශාන්තියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත්, ඒ සදහා පෙර සූදානම් කටයුතු වෙනුවෙන් සවස 6.00 ට පමණ පැමිණෙන ලෙසත් දන්වා තිබේ.
ඒ අනුව රත්ගම පොලිසියේ නිළධාරීන්වද මෙම විමර්ශනය සඳහා සම්බන්ධ කරගත් අතර, උපාය දූතයින් ලෙස කාන්තා නිලධාරිනියන් සැකකරු සමග සෙත් ශාන්තිය සිදුකරන දේවාලයට ගොස් ඇත. එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් 2023.06.05 දින සවස 6.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකරු විදේශ රැකියා උප ඒජන්තවරයෙකු ලෙස නීත්‍යානුකූල නොවන පරිදි කාන්තාවන් විදේශ ගතකිරිමට කාලයක් තිස්සේ කටයුතු කර ඇති පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කාන්තාවන් විදේශ රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව යටතේ සැකකරු අද දින (2023.06.06) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, ජූනි මස 15 දක්වා බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
228 Views
Comments