රියදුරුට සහ සහායකට මරු කැඳවා ට්‍රැක්ටරය ප්‍රපාතයට

මොනරාගල ජීලෝන් කඳු වැටිය මාර්ගයේ ජලටැංකිය අසල 09 වංගුවේදී ට්‍රැක්ටර්යක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියැදුරු සහ සහායක මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ට්‍රැක්ටර් රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ බඩල්කුඹුර අතල පොල් ඉඩමේ පදිංචි දෙනිපිටිය මාණික්‍යගේ දයා ඩග්ලස් නැමැති 58 හැවිරිදි තිදරු පියෙකු සහ සහායක ලෙස කටයුතු කළ මොනරාගල කුමාරවත්ත පදිංචි කිට්නන් සිවයෝගන් නැමැති 55 හැවිරිදි තිදරු පියෙකි.
මොවුන් දෙදෙනා මොනරාගල කුමාරවත්ත මාර්ගය කාපට් කරන පුද්ගලික ඉඳිකිරීම් සමාගමක සේවයකර ඇති අතර මාර්ගයට අවශ්‍ය කාපට් මිශ්‍රණ මොනරාගල සිට ජීලෝන් කඳු වැටියේ ඉහළ මාර්ගයේ කොටසට රැගෙන ගොස් දමා ආපසු එමින් සිටියදී 09 වංගුව අසලදී ට්‍රැක්ටරයේ එන්ජින් කොටස ටේ්‍රලරයෙන් ගැලවී ප‍්‍රපාතයට වැටී තිබේ.
ප්‍රපාතයට වැටෙනවාත් සමඟම ට්‍රැක්ටර් රථයේ මඩ කවරයේ සිටි සහායකයා විසිවී මාර්ගයට වැටී හිසට බරපතල තුවාල සිදුව ඇති අතර ප‍්‍රපාතයට වැටුණු ට‍්‍රැක්ටර් රථයේ රියදුරු ඊට යටවී ඇත.
ප්‍රදේශවාසීන් සිද්ධිය පිළිබඳ පොලීසියට දැනුම්දීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව තුවාලකරුවන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබේ.
ඒ වන විටත් සහායකවරයා මියගොස් සිටි අතර ට්‍රැක්ටරයේ රියැදුරු ඊට ටික වේලාවකින් පසු මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
684 Views
Comments