විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කරයි

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කරයි

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (27වැනිදා) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

 

 

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනු කරනු ලැබූ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ඊයේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදු කෙරුණි.

 

 

අදාළ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව 63 දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බව සඳහන් කළේය. මීට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිත බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

 

 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් ගනුලබන මෙම පියවර සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර සිටියේය. කෙසේ වෙතත් ඇතැම් විශේෂඥ වෛද්‍යවරු මේ මස 30 වනදා විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබෙන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද(28) දින කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

 

 

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අද දින කැඳවන ලෙසද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරන ලදී.

views

247 Views

Comments

arrow-up