කොළඹ 10 ඉඩමක් අල්ලන්න දේශපාලකයෙක් විසින් පදිංචිකරුවන් එළවලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

කොළඹ 10 ඉඩමක් අල්ලන්න දේශපාලකයෙක් විසින් පදිංචිකරුවන් එළවලා

කොළඹ 10 ඉඩමක්  අල්ලන්න දේශපාලකයෙක් විසින් පදිංචිකරුවන් එළවලා

කොළඹ 10, අර්නෝල්ඩ් රත්නායක මාවතේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිලි තුනක සිටින පදිංචිකරුවන්  තම නිවාස වලින් ඉවත් කිරීම හේතුවෙන් අපහසුතා රැසකට මුහුණ පා ඇතැයි සඳහන් වේ.

 

1960 වසරේ සිට එම නිවාසවල ජීවත් වූ මෙම පිරිසට වසර තුනක බදු පදනම යටතේ වෙනත් නිවාස ලබා දී ඇත. ඒ  මාලිගාවත්ත, තොටළඟ ප්‍රදේශයෙනි. තවද මෙම ජනතාව චෝදනා කරන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ අනුදැනුම මත ව්‍යාපාරිකයෙකුට බදු පදනම මත ගොඩනැගිල්ලක් ඉදිකරගැනීම සදහා මෙලෙස  නිවාස වලින් ඉවත් කර ඇති බවයි.

 

නිවෙස් කිපයක වාසය කළ පවුල් කිහිපයක් තමන්ට ලබාදෙන බව කියූ නව නිවාසවල යතුරු ලබා ගැනීමට ගිය අවස්ථාවේදී කොළඹ මහ නගර සභාවේ නීති අංශයේ නිලධාරින් පවසා ඇත්තේ ඔවුන්ගේ ලිපිගොනු තමන්ට ලැබී නොමැති බවයි. තවද, අයිතිවාසිකම් සඳහා අධිකරණයේ නඩු පවරා ඇති හෙයින් අධිකරණයෙන් නිවාස ලබා ගන්නා ලෙසද ඔවුන්ට දැනුම් දී තිබේ. එසේම නගර සභාවේ නීති අංශයට කැඳවා ගිවිසුම්වලට තමන්ගේ අත්සන් ලබා ගත්තේ ගිවිසුම කියවීමට පවා ඉඩ නොදී බව ද එම ජනතාව චෝදනා කර සිටී.

 

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වීමට තිබු නොරිස් ඇළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට අදාළව මෙම පිරිස ඉවත් කිරීමට සැලසුම් කර තිබුණද එම ව්‍යාපෘතිය මේ වන විට නවතා දමා තිබේ. එහිදී ඊට අදාළව සෑම පවුලකටම රුපියල් ලක්ෂ අසූවක් හෝ නිවසක් දීමට යෝජනා වී තිබී ඇත. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ සමීප මිතුරකු බව කියන පෙර කී ප්‍රාදේශීය දේශපාලනඥයා එයද නතර කර ඇතැයි එම ජනතාව චෝදනා කර සිටී.

 

එහි නීති අංශයේ නීති නිලධාරිනියක වන දිනූෂා ද සිල්වාගෙන් ජාතික පුවත්පතක් මේ  පිළිබඳ විමසූ අවස්ථාවේදී ඇය ආවේගශීලීව ප්‍රකාශ කර සිටියේ  ‘‘අපි සියලුදෙනාට නිවාස ලබා දීලා තියෙනවා. පුළුවන් නම් මට කියන්න කාටද නිවාස දීලා නැත්තේ?’’ යනුවෙනි.

views

258 Views

Comments

arrow-up