තුන් මාසේ කිරි කැටියා ලක්ෂ 7කට විකුණා මව්පියන් කුඩු විකුණලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

තුන් මාසේ කිරි කැටියා ලක්ෂ 7කට විකුණා මව්පියන් කුඩු විකුණලා

තුන් මාසේ කිරි කැටියා ලක්ෂ 7කට විකුණා මව්පියන් කුඩු විකුණලා

මාස තුනක් වයසැති බිළිඳියක්, වෙනත් අඹුසැමි යුවළකට රුපියල් ලක්ෂ 7කට විකුණා ලබාගත් මුදල් වලින් රුපියල් 30,000 කට හෙරොයින් ගෙනැවිත් ජාවාරම් කළ බිළිඳියගේ මවුපියන් යැයි කියන යුවලක් හෙරොයින් සමග කුරුණෑගල නගරයේ දී ඉකුත් 16 වැනිදා සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

 

සැකකාර අඹුසැමි යුවළ අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී සැකකාරියගේ අත්බෑගයේ තිබුණු කුඩා ගවුමක් හමු වූ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකාරිය බිහිකළ මාස තුනක් වයසැති බිළිඳිය අනුරාධපුර ප්‍රදේශයේ අඹු සැමි යුවලකට විකුණා ඇති බවට හෙළි වී තිබේ.

 

කුරුණෑගල නගරයේ නීතිඥවරයකු ලඟ ලියා බිලිඳිය එම අඹුසැමි යුවළට ලබා දී රුපියල් ලක්ෂ 7 ක මුදලක් ලබා ගත් බවත් එම මුදලෙන් රුපියල් 30 000 ක හෙරොයින් කොළඹ ප්‍රදේශයෙන් ගෙනැවිත් ජාවාරම් කළ බවත් ඉතිරි රුපියල් හය ලක්ෂ 70,000ක් වූ මුදල බැංකුවේ තැන්පත් කර ඇති බවත් දැරිය සිහිවීමට කුඩා ගවුමක් අත් බෑගයේ තබා ගත් බවත් සැකකාරිය ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.

 

කුරුණෑගල වැව්ගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47ක් වයසැති සැකකරු ලඟ හෙරොයින් මිලිග්‍රෑම් 1300 ක් හා අවුරුදු 28 ක් වයසැති සැකකාරිය ලඟ හෙරොයින් මිලිග්‍රෑම් 80ක් බැගින් අඩංගු පැකට් තුනක් තිබූ බවත් නගරයේ තැනින් තැන ඇවිදිමින් හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයන් බවත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.

 

සැකකරු හෙරොයින් ජාවාරම් කරන අතරතුර හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වූ අයකු බව පරීක්ෂණවල දී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

 

අත් අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව මත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

 

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච් පුෂ්පලාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක නන්දන බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් බාලසූරිය (58187) පොලිස් සැරයන් ප්‍රියන්ත (58188), පොලිස් සැරයන් බණ්ඩාර (58678) යන නිලධාරීහු මෙම වැටලීමට එක්වී සිටියහ.

views

864 Views

Comments

arrow-up