'හෙළ රටාවට ඉවුම් පිහුම්' ග්‍රන්ථයේ කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

'හෙළ රටාවට ඉවුම් පිහුම්' ග්‍රන්ථයේ කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට

'හෙළ රටාවට ඉවුම් පිහුම්' ග්‍රන්ථයේ කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන්නේ ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ 'හෙළ රටාවට ඉවුම් පිහුම්' ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බවයි.

 

 

සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

 

 

ධර්මා සමරනායක මහත්මිය විසින්"ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයේ" කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව තමන්ට කර්තෘ භාගය හිමිවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව 2005 වසරේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

 

 

 

පැමිණිලිකාර සමරනායක මහත්මිය විසින් සිදුකරන ලද්දේ අදාළ ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් එහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බවත් එම නඩුවේ දී කරුණු ඉදිරිපත් කළ සරසවි ප්‍රකාශන සමාගම අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි.

 

 

එම ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු වෙනුවෙන් ඇයට මුදල් ගෙවා ඇති බවත් අදාළ සමාගම වාණිජ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

 

 

සරසවිය ප්‍රකාශන සමාගම වෙත 2013 වසරේ එම නඩුවේ තීන්දුව ලබාදුන් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ ග්‍රන්ථයේ කර්තෘ අයිතිය පැමිණිලිකාර සමරනායක මහත්මියට හිමි බවට තීන්දු කොට බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකරන ලෙසත් නියෝගයක් නිකුත් කර තිබුණි.

 

 

කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම නඩු විභාගයේ දී අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

 

 

එම තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.

 

 

අදාළ ග්‍රන්ථයෙහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතා සතු වන බවට එම අභියාචනය දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල නිගමනය කර තිබේ.

 

 

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිගමනය කර තිබුණේ අදාළ වාණිජ මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බවයි.

 

 

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සරසවි ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිගෙන ඇත.

 

 

පෙත්සම්කාර සරසවි පුවත්පත් සමාගමට රුපියල් 25,000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් වගඋත්තරකාර ධර්මා සමරනායක මහත්මියට නියෝග කර ඇත.

 

views

297 Views

Comments

arrow-up