අක්කර 16ක භූමි කොටසක විහිදුණු සූර්ය බලාගාරයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

අක්කර 16ක භූමි කොටසක විහිදුණු සූර්ය බලාගාරයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ

අක්කර 16ක භූමි කොටසක විහිදුණු සූර්ය බලාගාරයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ

අක්කර 16ක ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙගාවොට් 04කින් යුත් සූර්ය විදුලි බලාගාරය මෙරට ජාතික විදුලිබල පද්ධතිය සමග සම්බන්ධ කෙරුණා.

 

ඒ ඊයේ (07) මහියංගනය ප්‍රදේශයේ දී යි.

 

මෙම විදුලි බලාගාරය 2017 වර්ෂයේ දී ටෙන්ඩර් පත්‍රිකාවකට අනුව ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට ප්‍රදානය කෙරුණු ව්‍යාපෘතියක්.

 

කෙසේ වෙතත් පුනර්ජනනීය විදුලිබල උත්පාදන කටයුතු සිදුවන්නේ ඉතාමත් මන්දගාමීව බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

 

ඔවුන් පෙන්වා දෙන්නේ 2030 වසරේදී මෙරට සමස්ථ විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය කරා යොමු වීමට රජය සැලසුම් කර තිබුණ ද, 2020 වසර තුළ දී ඒ සඳහා කිසිදු පුනර්ජනනීය විදුලිබල උත්පාදන කටයුත්තක් සඳහා ටෙන්ඩර් පිරිනමා නොමැති බවයි.

 

පුනර්ජනනීය විදුලි බලය වෙනුවෙන්ම අමාත්‍යවරයෙකු ද පත් කර ඇති පසුබිමක් යටතේ මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බවයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

 

2020 වසර සඳහා ප්‍රදානය කිරීමට යෝජිතව තිබූ මෙගාවොට් 190 ක විදුලි උත්පාදන කටයුතු සඳහා වන යෝජනා ඇතුළත් ටෙන්ඩර් පත්‍රිකාවක් හිටපු පුනර්ජනනීය විදුලි රාජ්‍ය අමාත්‍යවරයා ලාච්චුවේ දමා ඇති බවත් විදුලි ඉංජිනේරුවන් චෝදනා කරනවා.

 

ඒ 2019 වර්ෂයේ දී පුනර්ජනනීය විදුලිබල උත්පාදන කටයුතු සඳහා මෙගාවොට් 150කට මිල ගණන් කැඳවූ අවස්ථාවේ දී ඉන් මෙගාවොට් එකසිය හතළිස් හතක් ප්‍රදානය කිරීමට හැකියාව ලැබුණු පසුබිමක් යටතේයි.

 

මේ පසුගාමී තත්ත්වය අනාගතයේ දී බරපතළ ගැටලු ඇති කරන්නක් බව ද ඔවුන් සඳහන් කරනවා.

 

මේ වන විට මෙරට පුනර්ජනනීය විදුලි උත්පාදන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ඉහළ උද්යෝගයක් ඇති වී ඇති සමයක ඒ හරහා උපරිම ප්‍රතිඵල නෙළා ගත යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ.

 

අද වන විට දිවයින පුරා පුනර්ජනනිය බලශක්තිය හරහා මෙගාවොට් 275ක් උත්පාදනය කෙරෙන අතර 2030 වර්ෂයේ දී 70% වන පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට නම් අවම තරමින් වසරකට මෙග වොට් 500 ක බලශක්ති ව්‍යාපෘතීන් සඳහා අනුමැතිය ලබාදිය යුතු බවත් විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

 

කෙසේ වෙතත් ඉබි ගමනේ සිදුවන මෙම පුනර්ජනනීය විදුලි උත්පාදන කටයුත්ත අවසානයේ එය විදුලි ඉංජිනේරුවරුන්ගේ අකාර්යක්ෂමතාව නිසා සිදුවන්නක් ලෙස සිය කර පිට පැටවීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

 

පහසුවෙන් සපුරාගත හැකි කුඩා පරිමාණයේ පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීම කල් දමමින් මහා පරිමාණ විදුලි බලාගාර සඳහා විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමට බලධාරීන් වැඩි කැමැත්තක් දක්වන බවත් ඒ පසුපස කොමිස් මාෆියාව ක්‍රියාත්මක වන බවටත් ඔවුන් චෝදනා කළා.

 

මේ තත්ත්වය සම්බන්ධයෙන් වහා අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී ඇතිවන බලශක්තිය අර්බුදයට කිසිවකුටත් පිළියම් යෙදිය නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

views

612 Views

Comments

arrow-up