ලබන මස සිට නැවතත් ත්‍රිපෝෂ නිකුත් කරයි

වසරකට වැඩි කාලයකට පසුව මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීම ලබන මාසයේ සිට නැවත ආරම්භ කිරීමට හැකි බව අනාවරණය වේ.
ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පැවසුවේ මාස හයේ සිට අවුරුදු තුන දක්වා ළමුන් සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය වසරකට වැඩි කාලයක් නවතා දැමීමට සිදුවූයේ ඒවායේ අඩංගු විය යුතු ඇෆ්ලැක්ටොක්සිසෝසිස් ප්‍රමාණය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් බවයි.
ආහාර පනත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා භාවිත කරන බඩඉරිඟුවල තිබිය යුතු ඇෆ්ලැටොක්සිසෝසිස් ප්‍රමාණය අතර පරස්පරතාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් එකඟ වී නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් නිලධාරීන් කිහිප දෙනකුගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකිව දිග් ගැස්සී ඇති බවද පැවසේ.
වසරකට වැඩි කාලයක් කුඩා දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට නොහැකි වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම කඹ ඇදිල්ල නිසා මිස හිඟයක් නිසා නොවන බව සභාපතිවරයා පවසයි.
එහෙත් දීර්ඝ කාලයක සිට පැවති සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බවත්, අවසන් තීරණය මේ මස අවසානයේදී ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කරයි.
ඒ අනුව මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ පැකට් තුන්ලක්ෂ පනස් දහසක් ලබාදීමේ නිෂ්පාදන කටයුතු ලබන මාසයේ ආරම්භ කළ හැකි බව ඔහු කියා සිටියා.
279 Views
Comments