ජාතික රූපවාහිනී සංස්ථාවේ බරපතල අක්‍රමිකතා රැසක් ගැන හෙළි කෙරේ

ගාස්තු අය කිරීමකින් තොරව වැඩසටහන් 80 ක් විකාශනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී අහිමිව ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය වාර්තා කර සිටී.
මෙම වැඩසටහන් වෙනුවෙන් පැය 119 කට වැඩි ගුවන් කාලයක් වෙන් කොට ඇති බවද එම කාර්යාලය කියා සිටී.
එසේම රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි අක්කර 8 ක පමණ ඉඩමේ සහ ගොඩනැගිලි සංකීර්ණයේ නෛතික අයිතිය පවරාගෙන එහි වටිනාකම මූල්‍ය ප්රකාශනවලට ඇතුළත් කිරීමටද රූපවාහිනී සංස්ථාව තවමත් අපොහොසත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉතාලියේ සහ යුරෝපයේ විකාශන මැදිරියක රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යාම සඳහා රූපවාහිනී සංස්ථාව විසින් රුපියල් 340,0000 කට වැඩි මුදලක් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව පෞද්ගලික සමාගමකට ගෙවා ඇති අතර, 2015 වර්ෂයෙන් පසු එම කාර්යය සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බවත්, ඒ සඳහා ගෙවා ඇති අත්තිකාරම් මුදල අයකරගැනීමට පවා 2020 වර්ෂය අවසානය දක්වා කටයුතු කර නොතිබූ බවත් විගණන කාර්යාලය අනාවරණය කොට සිටී.
තවද, රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාට ගෙවිය යුතු දීමනාවට අමතරව 548,000 ක විශේෂ දීමනා හා වෙනත් දීමනා 2020 වර්ෂයේදී ගෙවා ඇති බව පැවසෙන අතර, ප්‍රවාහන සහ ඉන්ධන දීමනාවට හිමිකම් නොමැති නිලධාරීන් 99 දෙනකුට රුපියල් කෝටියකට ආසන්න මුදලක් දීමනා වශයෙන් ගෙවා ඇති බව ද, රුපියල් 7,840,0000 කට වැඩි මුදලක් ගෙවීමට නියමිත ණය ගැතියන් 153 දෙනකුට එරෙහිව රූපවාහිනී සංස්ථාව විසින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද විගණන කාර්යාලය කියා සිටී.
279 Views
Comments