සෞන්දර්ය ටීචර්ගෙන් ගුටි කෑ සිසුවිය රෝහලට

මහරගම ප්‍රසිද්ධ බාලිකා පාසලක 06 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි (11) දැරියකට එම විදුහලේ බටහිර සංගීතය උගන්වන සෞන්දර්ය ගුරුවරිය අනිත් සිසු දැරියන් අබියස දී අමානුෂික අන්දමින් පහරදීමේ පුවතක් වාර්තාවේ.
පාසල අවසන් ව නිවසට පැමිණි දියණිය දැඩි ලෙස රෝගාතුර වූ බැවින් පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් පසු සිදුවුණු තුවාලවලට සහ පහරදීමෙන් ඇතිවුණු මානසික පීඩාවට, එම රෝහලේ මානසික වෛද්‍යවරයා යටතේ උපදේශන සේවාව ලබාගන්නා අතර, ඇය දැනට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබයි.
පසුගිය අට වැනිදා(8) පෙරවරුවේ, විදුහලේ පංති කාමරයේදී පහරකෑමට ලක්වුණු මෙම දැරිය, එම පහරේ වේදනාව දරාගෙන පංති කාමරයේ සිට ඇති අතර ඇයට ප්‍රතිකාර ලබාදීමට වගකිව යුතු කිසිවකු යොමු වී නැත.
පාසල අවසන් වී මව සමඟ නිවසට පැමිණි මෙම දැරිය, තමුන්ට ටීචර් පහර දුන් බව පවසා තිබේ.
ඒ තුවාල නිසා ඇතිවූ වේදනාවෙන් සිටි අවස්ථාවේ, මව ඒ ගැන විමසූ විටය.
දියණියගේ මව මේ ගැන පංතිභාර ගුරුතුමියට දුරකථනයෙන් දැනුම් දුන් නමුදු, මේ ගැන කිසිවක් තමන් නොදන්නා බව ඇය පවසා තිබේ.
පසුව අංශ භාර ගුරුතුමියට දන්වා සිටි අවස්ථාවේ ඇය සඳහන් කර ඇත්තේ විදුහල්පතිනියට දැනුම් දෙන ලෙසයි.
විදුහල්පතිනියගේ දුරකථන අංකය නොමැති හෙයින්, නියෝජ්‍ය විදුහල්පතිනියට කතා කළ අවස්ථාවේ ඇය දන්වා ඇත්තේ “හෙට මං නිවාඩු නිසා පසුදින හමුවන්න” ලෙසටයි.
වෙනත් විකල්පයක් නොමැති තැන, මහරගම පොලිසියේ කාන්තා කටයුතු අංශයට දැරියගේ මව කළ පැමිණිල්ලට දින තුනක් ගතවූ තැන පොලිසියට පැමිණ ඇති සංගීත ගුරුවරිය පොලිස් ස්ථානාධිපති හමුවී තිබේ.
පොලිසිය මෙම හිංසනය, සුළු පහරදීමක් සේ සලකා අධිකරණයට යොමු කර ඇති අතර මේ වන විට ගුරුවරිය ඇප මත පසුවෙයි.
මෙම ගුරුවරිය වෙනත් බාලිකා විදුහලක සිටියදී මෙවැනිම වූ පහරදීමක් හේතුවෙන් ඇයට එරෙහිව සිදුවුණු උද්ඝෝෂණය නතර වී ඇත්තේ මෙම විදුහලට ස්ථාන මාරුකිරීමෙන් අනතුරුවය.
438 Views
Comments