අධික වර්ෂාවෙන් කළුතර දැඩි අවධානමේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

අධික වර්ෂාවෙන් කළුතර දැඩි අවධානමේ

අධික වර්ෂාවෙන් කළුතර දැඩි අවධානමේ

නිරිතදිග මෝසම් තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් රට තුළ ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ. 

 

 

එහි ප්‍රතිඵලයක් ලෙස අද (5) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව, දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 45 ත් අතර තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

 

 

ඊයේ (04දා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වන අතර එහිදී මිලිමීටර් 101ක වර්ෂාපතනයක් වාර්තා විය.

 

 

දින දෙකක් තිස්සේ කළුතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංගා පිටාර ගැලීම හේතුවෙන් බුලත්සිංහල මෝල්කාව, පරගොඩ, නා ලියද්ද යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් ඊයේ (04) සවස ජලයෙන් යට වූ බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා සඳහන් කළේය. 

 

 

කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කුඩාගඟ සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහළ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල විය. ජල ධාරිතාව කළමනාකරණය කිරීම සඳහා කුඩා ගඟට ජලය නිකුත් කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

 

 

පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් බදුරලිය හැඩිගල්ල මාර්ගය සහ ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල විය.

 

 

අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 43ක පුද්ගලයින් 149 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මීට අමතරව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 38 කට අර්ධ හානි සිදුව තිබේ.

views

341 Views

Comments

arrow-up