දරු පවුලේ කුසගිනි නිවන්න වැරදි වැඩක් කළ දෙදරු පියාට පිහිටක් වූ පොලිසිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

දරු පවුලේ කුසගිනි නිවන්න වැරදි වැඩක් කළ දෙදරු පියාට පිහිටක් වූ පොලිසිය

දරු පවුලේ කුසගිනි නිවන්න වැරදි වැඩක් කළ දෙදරු පියාට පිහිටක් වූ පොලිසිය

දරු පවුලේ කුසගිනි නිවාලීමට වෙළෙඳසැලකින් සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකට් එකක් මුදල් නොගෙවා රැගෙන යෑමට තැත් කළ 27 හැවිරිදි දෙදරු පියකුගේ බිල්පත බොරැල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න මහතා තම මුදලින් ගෙවා තිබේ.

 

පසුගිය 19 වනදා පෙරවරු 11.30ට පමණ බොරැල්ල පොලිසියේදී සිදුවූ මෙම සිද්ධිය එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි අයගේද හද සසල කරවීමක් විය.

 

සිදුවීම සැකෙවින් මෙසේය. ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 27 හැවිරිදි පුද්ගලයෙකි. 

 

පෙදරේරුවන්ට අත්උදවුකරුවෙකු ලෙස කුලී වැඩක් කරගනිමින් එදිනෙදා කීයක් හෝ උපයන ඔහුට පෙර දිනයේ මෙන් එදිනෙදා කිසිදු කුලී වැඩක් හමු නොවූ අතර නිවැසියන්ගේ කුසගින්න පිළිබඳව ඇති වූයේ දැඩි සිත් වේදනාවකි.

 

කළ හැකි දෙයක් නොවූයෙන් බොරැල්ල සතොසට ඇතුළු වූ ඔහු සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකට්ටුවක් දෑතට ගෙන ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවා වෙළඳසලේ පිටවීමේ දොරටුව වෙත ආවේය.

 

එහෙත් ආරක්ෂක අංශ ඔහුට ඊට අවසරයක් ලබා නොදුණි. 

 

මුදල් නොගෙවා භාණ්ඩ රැගෙන යෑම සොරකමක් සේ සැලකූ සතොස ආරක්ෂක අංශය සොරාගත් භාණ්ඩද සමඟ සැකකරු බොරැල්ල පොලිසිය වෙත රැගෙන ආවේය.

 

ඒ වනවිට බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න මහතා වෙත සැකකරු හා භාණ්ඩ ඉදිරිපත් කළ සතොස ආරක්ෂක නිලධාරීන් රුපියල් 840/= ක ආහාර ද්‍රව්‍ය මුදල් නොගෙවා රැගෙන යෑමට උත්සාහ කිරීමේදී සැකකරු පොලිසියට රැගෙන ආ බව සඳහන් කර සිටියහ.

 

සැකකරු වෙත විමසිලිමත්ව නෙත් යොමා සිටි උප පොලිස් පරීක්ෂකවරයාට තම අත්දැකීම් අනුව ඔහු අහිංසකයකු බව වටහා ගැනීමට හැකි වූයේ ඔහු පිළිබඳ සියලු‍ තොරතුරු විමසා දැන ගැනීමෙන් පසුවයි.

 

තම අඹුදරුවන්ගේ කුසගින්න නිසාත් එදා වේලට යමක් උපයා ගැනීමට නොහැකි වූ නිසාත් ඔහු මෙම තත්ත්වයට පත් වී ඇතැයි අවබෝධ කරගත් උප පොලිස් පරීක්ෂකවරයා තම පසුම්බියෙන් රුපියල් දහසේ නෝට්ටුවක් සැකකරු අත තබා මෙම මුදල් රැගෙන ගොස් සතොස බිල ගෙවා දමා අඹු දරුවන්ගේ කුසගින්න නිවා දමන ලෙස උපදෙස් දුන්නේය. 

 

සතොස ආරක්ෂක අංශයේ කැමැත්ත පරිදි මුදල් ගෙවීමෙන් අනතුරුව සැකකරු මුදාහරින ලෙස පවසමින් උප පොලිස් පරීක්ෂකවරයා සතොස ආරක්ෂක අංශය වෙත සැකකරු යොමු කළේය.

 

එම අවස්ථාවේ බොරැල්ල පොලිසියට වැඩම කර සිටි බොරැල්ල තිලකරත්නාරාමවාසී උණුවතුර බුබුලේ පියදස්සි හිමියෝද සැකකරු කැඳවා කිසියම් පරිත්‍යාගයක් සිදුකර යහපත් පුරවැසියකු ලෙස ජීවිතය ගොඩනඟා ගන්නා ලෙසට අනුශාසනා කළහ.

views

439 Views

Comments

arrow-up