ඖෂධ අධිමාත්‍රාවක් හේතුවෙන් ගම්පොල දැරියක් ඛේදනීය ලෙස මරු දකී

රජයේ රෝහලකින් නිකුත් කළ පැරසිටමෝල් අධි මාත්‍රාවක් හේතුවෙන්, උණ රෝගය වැළඳී සිටි හත් හැවිරිදි දැරියක් මියයෑමේ ඛේදනීය පුවතක් ගම්පොළ, උඩුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ගම්පොල උඩහේන්තැන්න, උඩුවැල්ල තාමරවල්ලිය ජනපදයේ පදිංචිව සිටි ශ්‍යාමලී තරුෂි නම් මෙම දැරියට පසුගිය අප්‍රේල් 20 වනදා උණ රෝගය වැළඳී ඇති අතර, ප්‍රදේශයට අයත් එකම ග්‍රාමීය රෝහල වන කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල වෙත දැරිය රැගෙන ගිය ඇගේ මව්පියන් රෝහල් වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ, රෝහලේ ඖෂධාගාරයෙන්ම ලබාගෙන පැමිණියත් දැරියගේ රෝගයෙහි අඩුවක් දක්නට ලැබී නැත.
දෙවතාවක්ම එසේ බෙහෙත් ගෙන දුන්නද දැරියගේ රෝගය සුව අතට නොහැරුණු නිසා ඔවුන් විසින් දැරිය ගම්පොළ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
එහිදී දැරිය පරීක්ෂා කළ ගම්පොළ රෝහලේ වෛද්‍යවරුන්, දැරියට කුරුඳුවත්ත රෝහලෙන් ලබාදුන් ඖෂධද පරීක්ෂාවට ලක් කොට ඇති අතර, ඇයට ඖෂධ අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවට එහිදී තහවුරු වී තිබේ.
ගම්පොළ රෝහලේදී අසාධ්‍ය තත්වයට පත් වූ දැරිය දැඩිසත්කාර ඒකකයට යොමු කෙරුණු අතර, එම අවස්ථාවේ වෛද්‍යවරුන් විසින් නිර්වින්දනය කරනු ලැබූ ඇය නැවත සිහිය නොලබාම මියගොස් තිබේ.
මේ පිළිබඳ සිදු කළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ, කුරුඳුවත්ත රෝහලේ ඖෂධ නිකුත්කිරීම සඳහා අවශ්‍ය කවර වර්ග නොමැති බැවින් කඩදාසි කොළවල ඔතා ඖෂධ නිකුත් කරන බවත්, පැරසිටමෝල් වැනි බහුලව නිකුත් කෙරෙන ඖෂධ එලෙස කඩදාසි කොළවල ඔතා, එහි ඇතුළත මාත්‍රාවද ලියා සකස් කර තිබෙන බවත් ය.
එලෙස සකස් කර තිබූ පැරසිටමෝල් දැරියට නිකුත් කර ඇත්තේ, ලබාදිය යුතු මාත්‍රාව වරකට එක බැගින් ලෙස එහි පිටතින් සටහන් කරමින් වන අතර, දෙමාපියන්ගේ නොදැනුවත්කම නිසා කොළයේ ඇතුළත සඳහන් වූ පරිදි දැරියට වරකට පෙති 2 බැගින් ලබා දී තිබෙන බව අනාවරණය විය.
මෙලෙස සෞඛ්‍ය සේවකයන්ගේ වගකීම් වීරහිත ක්‍රියාකලාපය නිසා සහ මව්පියන්ගේ නොදැනුවත්කම නිසා කුඩා දැරියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා කියා සිටී.
313 Views
Comments