කොරියාවට යවන්න සම්මුඛ පරීක්ෂණ කළ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

කොරියාවට යවන්න සම්මුඛ පරීක්ෂණ කළ අයෙක් අත්අඩංගුවට

කොරියාවට යවන්න සම්මුඛ පරීක්ෂණ කළ අයෙක් අත්අඩංගුවට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය Upcountry Manpower ආයතනයේ හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.10 දින අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

පේරාදෙණිය, ගැටඹේ, දංගොල්ල පාර, ශ්‍රි අමරවංශ මාවත යන ස්ථානයේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත අදාල ස්ථානය වැටලීම් කරන ලදී.

 

 

වැටලීම සිදුකරන අවස්ථාවේදී දකුණු කොරියානු රැකියා ලබාගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ සඳහා විශාල පිරිසක් අදාළ ස්ථානයට පැමිණ තිබුණු අතර, එහිදී මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

අදාළ ස්ථානයේ තිබී දකුණු කොරියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින්ගෙන් රැස්කළ විදේශ ගමන් බලපත්‍ර 275, රැකියා අයදුම්පත් හා පොලිස් වාර්තා ඇතුළත් ලිපිගොනු 615, විදේශ ගමන් බලපත්‍ර භාරගැනීමේ ලේඛනයක්, කොරියානු භාෂාවෙන් සඳහන් අයදුම්පත් ඇති ලිපිගොනු, කොරියාවේ රැකියා ඇබෑර්තු ඇති බව සඳහන් බැනරයක් ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගන්නා ලදී.

 

 

සැකකරු, කාර්යාංශයේ අනුමත වලංගු රැකියා ඇණවුමකින් තොරව රැකියා සඳහා පුද්ගලයින් බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ චෝදනාව මත 2023.06.11 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත්, වැඩිදුර නඩු විභාගය 2023.09.01 දින යළි කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

views

244 Views

Comments

arrow-up