ළමා නිවාසයේ දරුවන් පෙන්වා මුහුණු පොතේ දැන්වීමකින් මුදල් ගරන්න හැදූ තැතක් ගැන පොලිස් පරික්‍ෂණ

දෙලොවටම යහපතක් කරගන්නා ලෙස පවසමින් මිනුවන්ගොඩ වන්කැපුමුල්ල ප්‍රදේශයේ ළමා නිවාසයකට ආධාර කරනමෙන් ඉල්ලා මුහුණු පොතේ දැන්වීමක් පළකර වංචනික ලෙස මුදල් ලබා ගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
වන්කැපුමුල්ල රණසිංහ අධිකාරි ළමා නිවාසයේ සභාපති වන මාවතගම විජිත නන්ද හිමියන් සිදුකළ පැමිණිල්ලක් මත මෙලෙස පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ළමා නිවාසයේ රැකවරණය ලබන දරුවන් දොළොස් දෙනාගේ ආහාර වේල් තුන සපයා ගැනීමේ අපහසුතාවයකට පත්ව ඇති බවට වංචාකරුවෙකු විසින් මෙලෙස මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇති බව පොලිසිය කියයි.
ළමා නිවාසයේ සිටින දරුවන් මව හා පියා නොමැති අසරණ වූ දරුවන් බවත් මෙම දරුවන්ගේ දෛනික ආහාර වේල සපයා ගැනීම සඳහා නොමසුරු සහයෝගය බලාපොරොත්තු වන බවත් එම දැන්වීමේ පළ කර තිබුණු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
උදේ ආහාරය සඳහා රුපියල් 1200ක්ද දිවා ආහාරය සඳහා රුපියල් 2500ක්ද රාත‍්‍රී ආහාරය සඳහා රුපියල් 1800ක්ද උදේ සහ සවස තේ පානය සඳහා රුපියල් 700ක්ද වැය වන බවත් එකී දැන්වීමේ පළකර ඇති වංචාකරු මුදල් බැර කිරීම සඳහා බැංකුවක ගිණුම් අංකයක්ද වැඩි විස්තර ලබාගැනීම සඳහා ජංගම දුරකථන අංකයක්ද සඳහන් කර මෙම පුණ්‍යකර්මයට සහභාගි වී දෙලොවටම යහපතක් කරගන්නා ලෙස ඉල්ලා ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.
714 Views
Comments