ආර්ථික අර්බුදයට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධ පරීක්ෂණ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

ආර්ථික අර්බුදයට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධ පරීක්ෂණ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

ආර්ථික අර්බුදයට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධ පරීක්ෂණ කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

වත්මන් ආර්ථික අර්බුදය සඳහා හේතු සාධක මෙන්ම ඊට අදාලව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණ කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ආචාර්ය චරිත හේරත් අද නිර්දේශ කළා.

 

රටේ ආර්ථිකය මෙහෙය වූ කීප දෙනකුගේ අමනෝඥ තීරණ නිසා මේ වන විට රටක් ලෙස ශ්‍රී ලංකාව සුවිශාල අර්බුධයකට පත්ව ඇති බැවින් මෙය අපරාධයක් ලෙස සළකා කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ කළ යුතු බවයි කෝප් සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

 

කෝප් කමිටු සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දුන්නේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කෝප් කමිටුව හමුවට අද කැඳවූ අවස්ථාවේදී.

 

දැනට පවතින බරපතළ ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ ඉතිහාසයය පිළිබඳව අදහස් දැක් වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ 2020 මාර්තු - අප්‍රේල් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය පහසුකම් ලබා ගැනීමට යෑමේ දී ඔවුන් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාව භාවය නොමැති බව ලිඛිතව දැනුම් දුන් බවයි.

 

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට නම් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගත කළයුතු බවටත් යෝජනා කර තිබෙනවා.

 

ඒ බව හිටපු මහ බැංකු අධිපතිවරයාට, මුදල් අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලිඛිතව දැනුම් දුන් බවත් මහ බැංකු අධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළා.

 

ඒ අනුව මුදල් පනත යටතේ අදාළ තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට මෙම කරුණු නිර්දේශ කර යැවූ බවත් නමුත් අදාළ තීරණ ගනු ලබන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් බවත් මහ බැංකු අධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.

 

එවකට සිටි මුදල් අමාත්‍යවරයා කිසිවිටෙකත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නො කළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මෙම සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහි දී කියා සිටියා.

 

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තාව අනුව 2019 නොවැම්බර් වන විට ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමේ පැවති බවත්, අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තාවට අනුව ලංකාවේ ණය තිරසාර නොවන බව දැනුම් දුන් බවත් ඔහු පෙන්වා දුන්නා.

 

ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රුපියල් බිලියන 600ක බඩු බදු අඩු කර ගැනීමක් සිදු වූ බව ද මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය වාර්තාව මගින් ආදායම් බදු ආදායම අඩු කර නොගන්නා ලෙස උපදෙස් ලබා දී තිබියදීත් එවැනි තීරණයක් ගනු ලැබුවේ කවුරුන් විසින්ද යන්නත් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහි දී විමසා සිටියා.

 

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර කියා සිටියේ අදාළ බදු අඩු කිරීමේ තීරණය ගනු ලැබුවේ නව ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණෙන් බවයි.

 

මෙහිදී පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සඳහා මහ බැංකුව සතු ඩොලර් සංචිත බිලියන 5කට අධික අතිවිශාල මුදල් ප්‍රමාණයක් මුදා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මෙහිදී විමසා සිටියා.

 

මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මේ මුදල් පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බවයි.

 

එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මෙහි දී කියා සිටියේ මෙලෙස මහබැංකු සංචිත යොදා ගනිමින් විනිමය අනුපාතය ආයාසයෙන් රඳවා ගැනීම සම්බන්ධයෙන් තමන් සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන දැඩි ලෙස විරුද්ධ වෙමින් ඒ පිළිබඳව ලිඛිතව ම දැනුම් දුන් බවයි.

 

නමුත් ඉතිරි මුදල් මණ්ඩල සාමාජිකයින් තිදෙනා මෙම තීරණයට එකඟ වූ හෙයින් තමන්ගේ සහ සංජීව ජයවර්ධන ගේ විරෝධතාවයෙන් ඵලක් නොවූ බවත් ඇය කියා සිටියා.

 

එවකට සිටි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ මෙම තීරණය හා එකඟ ව සිටි බවයි මෙහිදී හෙළි වුණේ.

 

එමෙන්ම වත්මන් අර්බුදකාරී තත්වය සමනය කර ගැනීමට අදාළ විසඳුම් පිළිබඳව දීර්ඝ ලෙස මෙම කෝප් කමිටුවේ දී සාකච්ඡා කෙරුණා.

 

මෙහිදී දීර්ඝව කරුණු දැක් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන ඉදිරි සාකච්ඡා සහ මූල්‍ය අරමුදලෙන් ලැබෙන යම් මූල්‍ය ප්‍රතිපාදනයක් සඳහා තවත් මාස තුනක් හෝ හතරක කාලයක් ගතවනු ඇති බවයි.

 

එම කාලය අතිශය දුෂ්කර වනු ඇති බවත් කෙසේ හෝ එම දුෂ්කර කාලය ගෙවා දැමිය යුතු බවත් මහබැංකු අධිපතිවරයා මෙහි දී අවධාරණය කළා.

 

විදේශ විනිමය උපයා ගැනීම ද අතිශය දුෂ්කර කාර්යයක් වුව ද කෙසේ හෝ එම අභියෝගය ජයගන්නා බවත් ඔහු එහි දී කියා සිටියා.

 

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සහ ඉන්ධන හිගය ඇතුළු ගැටලු නිසා අවම රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් රාජකාරි පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කොට ඉදිරි සති තුනක් සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙස ද සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනට නිර්දේශ කළා.

 

එමෙන්ම වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිදුකරන මෙහෙය පිළිබඳවද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මෙහි දී සිය කෘතඥතාව පළ කළා.

views

599 Views

Comments

arrow-up