මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් ඔෟෂධ මිලත් පා කරන සැලැස්මක්

ඖෂධ මිල පාවෙන්නට ඉඩ ලැබෙන සේ මිල සූත්‍රයක් සැකසීමට රජයේ සැලැසුමක් ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න පැවසීය.
ඖෂධ මිලට නව සූත්‍රයක් හඳුන්වා දෙන බව කියමින් රජය එවැනි තීන්දුවක් ගැනීමට අරඅඳින බවට සිය සංගමයට තොරතුරු වාර්තා වී ඇතැයි තිලකරත්න මහතා කීය.
විදේශ විනිමය ප්‍රශ්නය නිසා දැනටමත් ඖෂධ මිල ඉහළ ගොස් ඇති පසුබිමක එවැනි මිල සූත්‍රයක් සකස් වුවහොත් එය මුළුමනින් ම වෙළෙඳපොළ විසින් රෝගී ජීවිතවල ඉරණම තීරණය කරනු ලබන තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
විදේශ විනිමය ප්‍රශ්නය නිසා වැඩි මිලක් ගෙවා ආනයනය කිරීම හේතුවෙන් දැනටමත් සිය ලාභ රේට්ටුව පවත්වාගෙන යාමේදී සමාගම්වලින් ඖෂධවල මිල ඉහළ දමා ඇතැයි කී හෙතෙම රජය වෙළෙඳපොළ බලවේගවලට හිස නැමුවහොත් එය රටෙහි දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පාර කැපීමක් වනු ඇතැයි අනතුරු ඇඟවීය.
මේ අතර, නීත්‍යනුකූල නොවන මාර්ගවලින් රටට ආනයනය කළ ඖෂධ තොග රැසක් ද මේ වනවිට දිවයිනේ විවිධ තැන්වල ඇතැයි ඒ මහතා කීය.
රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධයක් වෛද්‍ය සැපැයුම් අංශයේ නොමැති විටක පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට හැකි ක්‍රමවේදය භාවිත කරමින් ඒවා නැවතත් රාජ්‍ය අංශයට විකිණීමට අවස්ථාව ඇතැයි ද හෙතෙම කීය.
කෙසේ වෙතත්, රජය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් පළකරමින් පැවැසුවේ ඉදිරියේදී ඖෂධ මිල සඳහා සූත්‍රයක් සකස් කරන බවයි.
මෙමඟින් ආනයනික ඖෂධවල මිල පාලනය කළ හැකි අතර ඩොලරයේ අගය වෙනස්වීම අනුව ඖෂධ මිල පාලනය කළ හැකි යැයිද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම අවස්ථාවේදී පැවසීය.
1073 Views
Comments