අධික වේගයෙන් ආ ජීප් රථයේ ගැටුණු පුද්ගලයා මරුට - රථය පැදවූ සැකකාරියට ඇප

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රියක ගැටීමෙන් පුද්ගලයෙකු මීටර් 50ක් පමණ දුරකට ඇදී ගොස් අසල කාණුවකට වැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ බොරලැස්ගමුව, මහගෙදරවත්ත, වේරහැර ප්‍රදේශයේ පදිංචි ඉලේපෙරුම සජිත් කුමාර නමැති 52 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
රථය පැදවූ 52 හැවිරිදි කාන්තාව පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබේ.
සැකකාර කාන්තාව පවුලේ සාමාජිකයන් සමඟ ගාල්ලේ සිට අලූයම පමණ නුගේගොඩ පිහිටි නිවසට පැමිණීමට පිටත්ව තිබෙන අතර පෙරවරු 6.30ට පමණ අනතුර සිදුව තිබේ.
අනතුරට ලක්වූ පුද්ගලයා පාගමනින් යමින් සිටියදී අධික වේගයෙන් ආ සුඛෝපභෝගී ජීප් රියේ ගැටී මීටර් 50ක් පමණ ඇදී ගොස් අසල කාණුවට වැටී ඇත.
එම පුද්ගලයා අනතුරට ලක්වීමෙන් පසු ජීප් රථය අසල පිහිටි තාප්පයකද ගැටී අනතුරුව රෝද තුනකින් ධාවනය වී අසල මල් බඳුනක ගැටී නැවතී තිබේ මෙම අනතුරෙන් ජීප් රථයේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
අනතුරෙන් මියගිය පුද්ගලයා සිය සහෝදරිය සමග වේරහැර ප්‍රදේශයේ නැවතී සිට ඇති අතර ඔහු එදිනෙදා කුලියක් කර සහෝදරිය රැකබලා ගෙන සිට ඇත.
අනතුරෙන් මියගිය පුද්ගලයා වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදී ඇති අතර ඔවුන්ට තවදුරටත් උදව් කරන බවට අදාල කාන්තාව ඇතුලු පිරිස පැවසූ බව වාර්තාවේ.
පිළියන්දල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
934 Views
Comments