ඇල්ලවල ඇල්ලේ සැඟව ගිය එකම පවුලේ කඳුළු කතාව

“අපි කොළඹ ගිහින් නුවරඑළිය හරහා ගෙදර යන අතරෙදි මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා කීව්වා ඇල්ලවල ඇල්ලට ගිහින් නාල යමු කියලා.
අපි කට්ටිය ඇල්ලවල ඇල්ල ලඟට ගියා. මමයි, අක්කයි, පොඩි දරුවන් දෙදෙනයි ඇල්ල අසල සිටියද්දී මියගිය ෆාතිමා දියණියයි, සමීම් පුතයි නාන්න ඇල්ලට බැස්සා. ෆාතිමා දුව දියේ ගිලූණා. නංගිව බේරගන්න සමීම් පුතා වතුරට පැන්නා. දෙන්නම ගිලූණා. ඒ දෙන්නව බේරගන්න නියාස් අයියත් පැන්නා”
වැල්ලවාය, ඇල්ලවල ඇල්ලේ ගිලී ජීවිතක්‍ෂයට පත්වුණ එකම පවුලේ පියා පුතා සහ දියණිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කළ පවුලේ ඥාතියෙකු වන මොහොමඞ් නසීම් පැවැසුවේය.
කාත්තන්කුඩි, බදුරියා පාර, අංක 3/42 පදිංචි 38 හැවිරිදි මොහොමඞ් කාසිම් මොහොම්මදු නියාස්, 15 හැවිරිදි මොහොම්මදු නියාස් මොහොමඞ් සමීම්, 11 හැවිරිදි මොහොම්මදු නියාස් ෆාතිමා සමීම් යන තිදෙනා දියේ ගිලීමෙන් මෙලෙස මිය ගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විස්තර කළ මොහොමඞ් නසීම්,
“මගේ අක්කා විවාහ වී සිටින්නේ මොහොමඞ් නියාස් යන අය සමඟයි. මගේ මස්සිනා ව්‍යාපාර කටයුතුවල නිරතවෙනවා. ඔහුට පුතෙකු සහ දියණියන් තිදෙනකු සිටිනවා.
මියගිය මොහොමඞ් සමීම් කාත්තන්කුඩි හිලූරියා මුස්ලිම් පාසලේ නවවන වසරේත්, මියගිය ෆාතිමා සමීම් එම පාසලේම හයවන වසරේත් ඉගෙන ගන්නවා.
අක්කාගේ අවුරුදු හයක දියණිය වන ෆාතිමා සීමාට හදවත් රෝගයක් තිබුණා. ඇයව වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා අපි කට්ටිය කොළඹ පුද්ගලික රෝහලකට ගිහින් දරුවා පෙන්නුවා. පසුව අපි නුවරඑළියට ගිහින් එහි සිට කාත්තන්කුඩි ගමට යෑමට පිටත් වුණා.
මගදී අපි එක්ක ගිය අක්කගෙ මහත්තයා කිව්වා අපි වැල්ලවාය, ඇල්ලවල ඇල්ලට ගිහින් නාලා යමු කියලා. අපි ඇල්ල ළඟට ගියා. වෑන් රථය රථ ගාලේ නතර කරලා රියැදුරු එහි සිටියා. මමයි අක්කයි මස්සිනයි දරුවන් හතර දෙනයි ඇල්ලට ගියා.
මස්සිනයි, ලොකු පුතයි, ලොකු දුවයි ඇල්ලට බැස්සා. මමයි, අක්කයි, පොඩි දුවල ඇල්ල අසල හිටියා.
මම මියගිය ෆාතිමා දුව දියේ ගිලෙනවා දැක්කා. ඒත් එක්කම සමීම් පුතා නංගිව බේරන්න වතුරට පැන්නා. දුවයි පුතයි බේරගන්න මස්සිනත් පැන්නා. තුන්දෙනාම දියේ ගිලී නොපෙනී ගියා. අපි කෑගැහුවා. අසල්වාසීන් දියේ ගිලී සිටි මස්සිනාවයි, පුතාවයි, දියණියවයි ගොඩට ගත්තා. ඒ වන විටත් තිදෙනාම මියගිහින්. පසුව තිදෙනාගේ මළ සිරුරු මොණරාගල රෝහලට ගෙන ගියා."
මියගිය අයගේ මරණ පිළිබඳ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(21) මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වුණි.
වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
37826 Views
Comments