“සිනහව පිරුණු ළමා ලොවක් උදා කරදීමට සෑම පියවරක්ම ගන්නවා” - ඇමතිනි ගීතා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

“සිනහව පිරුණු ළමා ලොවක් උදා කරදීමට සෑම පියවරක්ම ගන්නවා” - ඇමතිනි ගීතා

“සිනහව පිරුණු ළමා ලොවක් උදා කරදීමට සෑම පියවරක්ම ගන්නවා” - ඇමතිනි ගීතා

වර්තමානයේ රට පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ ළමා සුරක්ෂිතතාවය ඇති කිරීමත් ළමා මන්දපෝෂණය හා හිංසනය දුරු කිරීම ළමා අපචාර මැඩපවත්වා ළමා හිංසනයෙන් දරුවා මුදා ගැනීම සහ දරුවාට සිනහ පිරුණු ළමා ලොවක් උදාකර දීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා සමන්මලි කුමාරසිංහ ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට නිකුත් කර ඇති පණිවුඩයක දැක්වේ.

 

එහි මෙසේ ද සඳහන්වේ.

 

“ලෝක ජනගහනයෙන් බිලියන 2.2ක් ඉක්මවූ ප්‍රමාණයක් දරුවන් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනුව පෙන්වා දී ඇති අතර, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 33.44%ක් දරුවන් වේ. දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමස්ත ලෝකයේම වැඩිහිටි පරම්පරාව සදාචාරාත්මකව හා නෛතිකව බැඳී සිටින අතර ඒ උදෙසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදල වැනි සංවිධාන බිහිවී ඇති අතර ඒ හරහා 1959 දී ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත්කර ඇත.

 

එකී ප්‍රඥප්තියට 1991 ජූලි 21 වැනි දින ශ්‍රී ලංකාව ද නිල වශයෙන් අත්සන් තබා පිළිගෙන ඇති අතර ඒ අනුව ළමා අයිතිවාසිකම් පිළිගෙන වසර 30ක කාලයක් මේ වන විට සම්පූර්ණ කර ඇත. එකී ප්‍රඥප්තියේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළව ප්‍රධාන මූලධර්මයන් 04ක් දැක්වේ.

 

1. දරුවාට උපරිම යහපත සැලසීම,

2. දරුවාට වෙනස් කොට නොසැලකීම,

3. දරුවාගේ ජීවිතය, දිවි පැවැත්ම හා සංවර්ධනය පිළිබඳ අයිතිය සුරැකීම,

4. දරුවාගේ මතයට ගරු කිරීම. උක්ත ප්‍රධාන මූලධර්මයන් ආරක්‍ෂා කරමින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය ද, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවද, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ද පිහිටුවා ඇත.

 

එම ආයතනයන්හි නෛතික හා සදාචාරාත්මක ප්‍රතිපාදන යටතේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 54 වගන්තියේ සඳහන් ළමා ආරක්‍ෂණ නියමයන් අප රටේ දරුවන් වෙනුවෙන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කර එම දරුවන්ගේ සිහින හා අනාගතය සුරක්ෂිත කිරීමට ඉදිරි කාලයේදී අමාත්‍යාංශය කැපවන බවට ප්‍රතිඥා දෙන බවද වැඩිදුරටත් සඳහන් කර සිටිමි.

views

265 Views

Comments

arrow-up