“ඔයා ගෙදර යන්න එපා...මහ ගෙදර නිදියගන්නත් එපා, මගේ දරුවන්ට බුදු සරණයි” කියමින්, තම සැමියාව නිදි යහනේදීම එළොව යැවූ බිරිඳකගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

“ඔයා ගෙදර යන්න එපා...මහ ගෙදර නිදියගන්නත් එපා, මගේ දරුවන්ට බුදු සරණයි” කියමින්, තම සැමියාව නිදි යහනේදීම එළොව යැවූ බිරිඳකගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය

“ඔයා ගෙදර යන්න එපා...මහ ගෙදර නිදියගන්නත් එපා, මගේ දරුවන්ට බුදු සරණයි” කියමින්, තම සැමියාව නිදි යහනේදීම එළොව යැවූ බිරිඳකගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය

වැලිගම, බටවල, වල්ලිවල යනු ගැමි සුවඳ වහනය වන සුන්දර ගම්මානයකි.

 

මේ ගම්මානයම කම්පා කළ පුවතක් පසුගිය 20 වැනිදා උදෑසන වාර්තා විය. 

 

කාන්තාවක් සිය ස්වාමිපුරුෂයාට තියුණු ආයුධයකින් පහරදී නිදි ඇඳේදීම ඝාතනය කිරීමේ සිද්ධියයි. 

 

මේ කතාව ඇසූ දුටු ප්‍රදේශවාසින් වැල නොකැඩී අදාළ සිද්ධිය වූ නිවෙසට යාමට පටන් ගනිද්දී පොලිසියටද මේ බව වාර්තා වී තිබිණි.

 

දින ගණනාවක සිට බටවල ගම්මානයේ මෙම නිවෙසින් දිගින් දිගටම ‘අඩදබර‘ ඇසෙන්නට පටන් ගෙන තිබිණි.

 

ඒ නිසාවෙන්ම කාලයාගේ ඇවෑමෙන් එ ගම අයට මෙය සාමාන්‍ය සිදුවීමක් බවට පත් විය. එහෙත් එය කොතනින් කෙළවර වේදැයි ඔවුන් කාටවත් නොසිතෙන්නට ඇත. 

 

මෙහිදී සිය බිරිය අතින් ඝාතනය වූයේ අරුණ ශාන්ත ප්‍රියදර්ශන නමැති අයෙකි.

 

ඔහු සිවු දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියාය. ඔහුගේ පළමු විවාහයද සාර්ථක එකක් නොවීය. 

 

එම විවාහයද කෙටි කාලයකට සීමා වූයේය. අඹුසැමියන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් ම දෙදෙනා පළමු විවාහයෙන් වෙන්වන්නට තීරණය කළෝය.

 

අනතුරුව අරුණ ශාන්ත විවාහ වූයේ මීට අවුරුදු 20කට පමණ පෙරයි. ඒ මිහිරිපැන්න ප්‍රදේශයේ ජීවිකාව ගෙවූ කාන්තාවක් සමඟය.

 

ඇය නමින් නිරෝෂා සමරවික්‍රමයි.

 

අරුණ දෛනිකව කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගියේ බටවල මහ ගෙදරය. පසුව පුංචි නිවෙසක් මේ පවුල වෙනුවෙන් ඉදිකරනු ලැබුවේද ගමේ පරිත්‍යාගශිලීන්ගේද ආධාර ඇතිවයි.

 

කාලයාගේ ඇවෑමෙන් නිරෝෂා දරුවන් සිවුදෙනෙකු මෙලොවට බිහි කළාය.

 

අරුණට හෝ නිරෝෂාට දරුවන්ගේ අනාගතය ගැන සිහින දකින්නට තරම් යහපත් මානසිකත්වයක් හෝ ආර්ථියක්ද නොවීය. 

 

ඒ නිසාම අරුණගේ දෙමව්පියන්ගේ ද රැකවරණය යටතේ පළමු මෙන්ම දෙවැනි දරුවාගේ වගකීමද ගන්නට අරුණගේ එකම සොයුරිය ඉදිරිපත් වූවාය.

 

ඇය රෝහලක කම්කරු වෘත්තියේ නිරත වූවාය. කොටින්ම කියතොත් මේ දරුවන්ගේ දෙවැනි මව බවට පත් වූයේ ද ඇයයි. අරුණගේ වැඩිමහල් පුතුට යම් කථන අපහසුතාවකින් උත්පත්තිය තිබීම නිසා එම දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු බවට පත් විය.

 


මේවන විට ඔහුට අවුරුදු 19කි. දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඇය අධ්‍යාපනය ලබන්නීය. 


මෙම දරුවන්ගෙන් වැඩිමහල් දරුවා පොඩි කාලයේම ළමා නි‍වසකට දෙන්නටද යෝජනා වූයේද අරුණගේ පවුලේ පැවැති ආර්ථික ගැටලු‍ නිසාය.

 

එහෙත් ඊට ඉඩ නොතබා අපහසුවෙන් වුවද මේ දරුවන් ‘යම් තැනකට ගන්නට‘ ඇගේ සොයුරිය දැක්වූයේ දැඩි උනන්දුවකි. 

 

මේ දරුවන් සහ මව අතර දුරස් බවක් පැවතුණද, වැඩිමල් දරුවන් ගැනද සොයා බලන්නට අරුණ උත්සුක විය.

 

තම මවුපියන්ගේ අඩදබර මෙන්ම ආර්ථික පීඩනය මෙම නි‍වෙසට ගෙන ආවේ අයහපතකි. නිරෝෂා තම පවුලේ අනාගතය ගොඩනඟන්නට යම් වෙහෙසක් ගත් අවස්ථාවන්ද නැත්තේ නොවේ.

 

ඇය තනිවම රැකියාවක් සොයා ගැනීමට වෙහෙසුණාය. ඇතැම් විට දේවාල ගනනේ ගියේද පවුලේ අනාගත දියුණුවක් ඇති කරන්නටය.

 

මීට වසර දෙකකට පමණ පෙර රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී බහුකාර්ය නිලධාරිනියක ලෙස රජයේ රැකියාවකට එක්වන්නටද ඇයට වාසනාව උදාවිය. පසුව වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සිය රාජකාරි කටයුතු කළාය.

 

එහෙත් බොහෝ දෙනකුට නොපෙනුණු මේ සියල්ලටම වඩා පීඩාවට පත්වූ සැඟවූ කරුණක් මෙම පවුල තුළ සැඟවී තිබුණි. 

 

ඒ මෙම කාන්තාව කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පීඩා විඳීමයි.

 

ඇය වරක් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගෙන තිබුණාය. එහෙත් යළිත් මෙම මානසික රෝගී තත්ත්වයද ඉස්මතු වෙමින් පැවතිණි. 

 

රාත්‍රිය මෙන්ම උදෑසන කාලයද එහි වඩාත් උත්සන්න වන බවක් පවුලේ අයටද නොතේරෙන්නට ඇත. 

 

වැඩිමල් දියණිය සහ කුඩා දියණිය අතර ඇතිවූ කතාවක්ද දෙමව්පියන්ගේ විරසකයට හේතුවූ බවටද සැක පළ වෙයි.

 

මව යම් දෙයක් වැඩිමල් දියණියට කීම නිසාම අරුණට කෝපය වැඩිවන්නට ඇත. ඔවුන්ගේ ප්‍රශ්නවලට අලු‍ත් මුහුණුවරක් ඉන් එක් විය. 

 

කතාබහ දුරදිග යමින් අරුණ සිය බිරියට සිදුකරන ලද පහරදීමක්ද දුරදිග ගියේය. 

 

මේ සම්බන්ධයෙන් නිරෝෂා පොලිසියේද පැමිණිල්ලක් කළාය. බිරිය තමාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් කළද, එය විභාගයට ගත්දා අරුණ පොලිසියට නොපැමිණියේය.


තමා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙවන බැවින් එදින වැඩට නොගියහොත් දරුවන්ට කන්න දෙන්නට විදිහක් නැති බව කියමින් අරුණ පොලිසිය දැනුම්වත් කළේය. 

 

තමන්ට වැඩ නැති දිනක පැමිණිය හැකි බවද ඔහු පොලිසියට පවසා තිබුණි.

 

මේ අතර නිරෝෂාගේ මානසික රෝගී තත්ත්වය ටිකින් ටික වැඩිවෙන්නට පටන් ගෙන තිබිණි. ඉකුත් 19 වැනි දින රාත්‍රියද ඇය ගෙවා දැමුවේ එතරම් යහපත් මානසිකත්වයකින් නොවේ.

 

”‍මගේ දරුවන්ට බුදු සරණයි”‍ වැනි ආශිර්වාදයන් විකාරයෙන් ඇය දොඩවන්නට වූවාය. සිය ස්වාමියා කෙරෙහි දැඩි කෝපයකින් ඇය පසුවූවාය. මේ බව සිද්ධිය වූ දිනට කලින් දින අරුණ මහගෙදරට පැමිණ අක්කාට කියා ඇත්තේ තමා මරන බවට බිරිය තර්ජනය කළ බවයි. 

 

දෙදෙනා අතර ගැටුම උච්චතම අවස්ථාවට පැමිණ තිබිණි. මේ නිසාවෙන් ”‍ඔයා ගෙදර යන්න එපා... මහ ගෙදර බුදියගන්නත් එපා යැයි”‍ අක්කා අරුණට කීවාය.

 

එය එතරම් ගණනකට නොගත් අරුණ එදින තම නි‍වෙසට පැමිණ නිදි යහනට ගියේ නින්දක් බලාපොරොත්තුවෙනි.


මේ වන විටත් නිරෝෂා එළියට වී මීළඟ පියවර සැලසුම් කරන්නට ඇත. එහෙත් ඇය යහපත් මානසිකත්වයකින් පසු නොවූවාය. අරුණ නින්දට ගොස් තිබිණි.

 

20 වැනි දින අලු‍යම අවාසනාවන්තම දිනයක් බවට පත්වනු ඇතැයි එගම කිසිවකු නොසිතන්නට ඇත. 

 

අරුණට මරු කැඳවන්නට ඇය තෝරා ගත්තේ ගල් ඉන්නකි. නිදි යහනේ සිටි අරුණට ගල් ඉන්නෙන් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කැරිණි.

 

මේ ප්‍රහාරයෙන් තම ස්වාමියා ලේ වැගිරෙමින් සිටියදීම කුඩා දරුවන් දෙදෙනා සමඟ ඇය නිවෙසින් පැන යන්නේ මිහිරිපැන්න මහ ගෙදරටයි.

 

පොලිසියට මේ සිද්ධිය වාර්තා වීමෙන් පසු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ උපදෙස් පරිදි වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසේකරගේ මූලිකත්වයෙන්, වැලිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් පරීක්ෂණ වහා ක්‍රියාත්මක විය. 

 

පොලිස් කණ්ඩායමක් මිහිරිපැන්න බලා පිටත් වන්නේ ඉන් අනතුරුවය. 

 

සැඟවී සිටි නිරෝෂා සහ කුඩා දරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වන්නට වැඩි කාලයක් ගත නොවීය. 

 

සියල්ල සිදු වී හමාරය. දැන් නිරෝෂාට යන්නට සිදු වී ඇත්තේ මහඋළුගෙදරය.


එහෙත් තම මව සමඟ තමන්ට කුමක් සිදුවූවාදැයි තේරුම් ගන්නට නොහැකිව සිටින අහිංසක දරුවන් දෙදෙනාට දැන් මවගේ මෙන්ම පියාගේ සෙනෙහසද අහිමිව ගොසිනි.

 

අරුණද මානසික රෝගී තත්ත්වයකින් පීඩා විඳි බවට පොලිසිය සැක කරයි. අරුණ ප්‍රියදර්ශන මිය යන විට 50 වැනි වියේ පසු විය. 

 

වැඩිමහල් දරුවන් දෙදෙනාට කාගේ හෝ වාසනාවකට අරුණගේ වැඩිමහල් සොයුරියගෙන් යම් පිළිසරණක් ලැබී තිබුණද, සමාජයේ කොතනක හෝ සිදු වුණ වරදකට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ හෙට ලොව ගැන කිසිම අවබෝධයක් නැති කුඩා දරුවන් දෙදෙනාටය. 

 

ජන්මයෙන් ලැබෙන ජානමය ගැටලු‍ මෙන්ම පාරිසරික ගැටලු‍ද මේ දරුවන්ගේ අනාගතය කෙරෙහි සරදම් කිරීමට ඉඩකඩක් ඇති බැවින් මෙවැනි දරුවන් කෙරෙහි සමාජයේ කාරුණික අවධානයද යොමු වීම අත්‍යවශ්‍යය.


-සිළුමිණ-

views

485 Views

Comments

arrow-up