කඩා වැටුණු ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි ගොඩනංවන්න සැලසුම්

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව ඊයේ (28) ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී ඇති මූල්‍ය ගැටළු සහ ඒ පිළිබඳ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මතුව ඇති සියලු ගැටලුවලට විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යන අය මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්වය පිළිබඳ මෙහිදී කරුණු පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ඇතුලු කමිටු සාමාජිකයන් මීට එක්ව සිටි බව වාර්තා වේ.
250 Views
Comments