“හැමදාම අම්මගෙන් ගුටි කෑවා, කලිනුත් ගෙදරින් පැනලා ගියා” - කොටදෙණියාව දරුවන් දෙදෙනාගේ සංවේදී ඉල්ලීම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

“හැමදාම අම්මගෙන් ගුටි කෑවා, කලිනුත් ගෙදරින් පැනලා ගියා” - කොටදෙණියාව දරුවන් දෙදෙනාගේ සංවේදී ඉල්ලීම

“හැමදාම අම්මගෙන් ගුටි කෑවා, කලිනුත් ගෙදරින් පැනලා ගියා” - කොටදෙණියාව දරුවන් දෙදෙනාගේ සංවේදී ඉල්ලීම

මීට දින හතළිස් හතරකට(44) පෙර කොටදෙණියාව, වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේදී අතුරුදන් වූ පිරිමි දරුවන් දෙදෙනා මීරිගම නගරයේදී ඊයේ(06) මීරිගම පොලිසිය විසින් සොයාගැනීමට සමත්විය.

 

මෙම දරුවන් පසුගිය නොවැම්බර් 23 වැනිදා නිවෙස්වලින් අතුරුදන්ව තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොටදෙණියාව පොලිසිය මහත් පරිශ්‍රමයක් දරමින් දරුවන් සොයා ගැනීමට උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවීම හේතුවෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබුණි.

 

වයස අවුරුදු 10 සහ 12 වියේ පසුවන ඥාති සොහොයුරන් වන මෙම දරුවන් දෙදෙනාගෙන් පොලිසිය සිදුකළ විමසීමේදී තමන් නිවෙස්වලින් පිටව ගිය පසු දින ගණනාවක් මීගමුව නගරයේ සිටි බව සඳහන් කර තිබේ. එසේම මීගමුව නගරයේ සිටියදී විවිධ අයට අතපා ආහාර ඉල්ලාගෙන කුසගිනි නිවාගෙන ඇති දරුවන් පසුව මීරිගම නගරයට පැමිණ සිටියදී ප්‍රදේශයේ කාන්තාවකට හමුවී ඇගේ නිවසට රැගෙන ගොස් ඇත.

 

අනතුරුව දරුවන් දෙදෙනා නහවා කවා පොවා පිරිසිදු කළ එම කාන්තාව මාධ්‍ය මගින් ඔවුන් පිළිබඳ පළවූ වාර්තා දැක කොටදෙණියාවෙන් අතුරුදන් වූ දරුවන් බවට හඳුනාගෙන මීරිගම පොලිසිය දැනුවත් කර ඔවුන් පොලිසියට භාරදුන් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

දරුවන් සඳහන් කරන ලද කරුණු ඔස්සේ තොරතුරු තහවුරු කරගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඉහත පොලිස් නිලධාරියා කියා සිටියේය. 

 

මීරිගම පොලිසිය මගින් සොයාගනු ලැබූ මෙම දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොටදෙණියාව පොලිසියට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.

 

ඒ අනුව දරුවන් අතුරුදන් වූ ආකාරය ඇතුළු කරුණු සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ කොටදෙණියාව පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.

 

මේ අතර මෙම දරුවන් ඉල්ලා සිටින්නේ තමන්ව නැවත නිවසට භාර නොදෙන ලෙසත්, මීරිගම ප්‍රදේශයේ කාන්තාවට ඔවුන්ව භාරදෙන ලෙසත්ය.

 

“හැමදාම අම්මගෙන් ගුටි කෑවා, කලිනුත් ගෙදරින් පැනලා ගියා, පොලිසිය ආයෙත් ගෙදරට භාර දුන්නා. බස් රථයකින් මීගමුවට ගිහින් දින 40 ක්
මීගමුව නගරයේ හිටියා, නිදාගත්තේ අගුපිල්වල

මීරිගම කඩේකින් කෑම දුන්නා, කඩේ ඇන්ටි
අපිව ගෙදර එක්ක ගිහින් පහුවදා පොලිසියට භාර දුන්නා. මීරිගම කඩේ ඇන්ටිගේ ගෙදරම ඉන්න
ඉඩ හදල දෙන්න”

යනුවෙන් ඔවුන් ඉල්ලූහ.

views

1507 Views

Comments

arrow-up