"මහ බැංකුව දේශපාලනයෙන් නිදහස් කරමි" - නව අධිපති නන්දලාල්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

"මහ බැංකුව දේශපාලනයෙන් නිදහස් කරමි" - නව අධිපති නන්දලාල්

"මහ බැංකුව දේශපාලනයෙන් නිදහස් කරමි" - නව අධිපති නන්දලාල්

තමා කිසිදෙයක් නොසඟවන බවත් ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

 

එම තනතුර බාරගැනීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීමෙන් මෙම අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබෙන බවය.

 

“මහ භාණ්ඩාගාරයටත් හොඳ නිලධාරියෙක් ප්‍රධානියා විදියට පත්වෙලා තිබෙනවා. අපි හොඳ එකඟතාවයකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

 

මෙරට මූල්‍ය පද්ධතියේ ඇති අසමතුලිතතාවය මග හැරවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩිකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය බව ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

 

ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් ඉහළ යයි.

 

මෙය මෙරට එම පොලී අනුපාතික එකවර මෙවැනි වැඩි අගයකින් ඉහළ දැමූ පළමු අවස්ථාව බව ආචාර්ය වීරසිංහ පැවසීය.

 

ඔහු මෙහිදී පැවසුවේ බලාපොරොත්තු වූ පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවී නොමැති බැවින් නොපමාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවය.

 

“ආර්ථිකය ගොඩගැනීම සඳහා ටික කාලයක් ගතවන අතර නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත්වනතුරු ජනතාව ඉවසා සිටිය යුතුයි. නැවත ගොඩගැනීම සඳහා ගතවන කාලය තීරණය වන්නේ දේශපාලන ස්ථාවරත්වය මත. මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව මම දැඩිව විශ්වාස කරනවා. මුදල් මණ්ඩලයේ 100% සහයෝගය මට ලැබෙනවා.”

 

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් හෙළිවූයේ අප්‍රේල් 11 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලධාරීන් සමග මාර්ගගතව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවය.

 

අද පෙරවරුවේ ආචාර්ය වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළේය.

views

879 Views

Comments

arrow-up