කුලී රැකියාවක නියුතු පුද්ගලයෙක්ට වැවේ ගිල්වමින් පහර දීලා

පොලිසියට ඔත්තු දුන්නැයි සැකකර නීති විරෝධී මත්පැන් ජාවාරම්කාරියක් සිය සැමියා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ එක්ව පුද්ගලයෙකු වීදාගම වැවේ ගිල්වමින් අමානුෂික පහරදීමක් සමිබන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
මෙලෙස පහර කා ඇත්තේ වයස අවුරුදු 41ක පොල් කැඩීමේ නිරත පුද්ගලයෙකි. එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම රෝහල වෙත ඇතුළත් කර ඇත.
පහර කෑ පුද්ගලයා ඉකුත් සඳුදා කිසියම් වූ රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීමෙන් සුපුරුදු ලෙස වීදාගම වැවේ ගල අසල රැඳී සිටි බව එම පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මද වේලාවකට පසු බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් නීති විරෝධී මත්පැන් වැටලීමකට එම ස්ථානයට පැමිණ ඇති අතර පහර කෑ පුද්ගලයාගෙන් එම ප්‍රදේශයේ ප්‍රචලිත මත්පැන් ජාවාරම්කාරීය මත්පැන් සඟවා තිබෙන ස්ථානය සම්බන්ධයෙන් විමසීමක් සිදු කර ඇත.
ඔහු එය නොදන්නා බවට පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරින් පිරිස එම ස්ථානය පරීක්ෂාකර මත්පැන් පොලිස් භාරයට ගෙන ජාවාරම්කාරිය යටතේ සේවය කරන සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන පිටව ගොස් ඇත.
වැටලීමෙන් පසු පහර කෑ පුද්ගලයා එම ස්ථානයෙන් පිටවී නිවෙස කරා යමින් සිටියදී බණ්ඩාරගම වීදාගම විද්‍යාලය අසලදී මත්පැන් ජාවාරම්කාරිය සිය සැමියා සහෝදරයා හා තවත් පුද්ගලයකු සමඟ එම පුද්ගලයා අල්ලාගෙන විශාල පිරිසක් බලා සිටියදී එම පුද්ගලයාට බිම වැටෙන තුරු පහර දී ඇත.
අනතුරුව වීදාගම වැවට ඇදගෙන ගොස් වැවේ ගිල්වමින් පොල්ලකින් පහර දී තිබූ බව පහර කෑ පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එම පහර දීමෙන් එම පුද්ගලයාගේ නහයෙන් ලේ වැගිරෙන්නට වීමෙන් අනතුරුව මත්පැන් ජාවාරම්කාරිය ඔහුට තර්ජනය කරමින් ලේ වැවේ ජලයෙන් සෝදා ගන්නා ලෙසත් ගමෙන් පිටවී යන ලෙසත් පවසා ඇති බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම පහර දීමෙන් තමන්ගේ හිස සහ ශරීරයේ සෑම ස්ථානයක්ම තදබල ලෙස රිදුම් දෙන බව පහර කෑමට ලක්වූ පුද්ගලයා පැවසීය.
271 Views
Comments