විදුලිය කප්පාදු කල යුතුයි.. නැතොත් මුළු රටම අදුරට යාවි.. ප‍්‍රවාහනය නැවතී අරාජික වේවි..- ගම්මන්පිල

ජනවාරි මස අග දක්වා ඉන්ධන අවශ්‍යතාවයක් නැතැයි මුලින් කියූ විදුලිබල මණ්ඩලය ජනවාරි 13 දා සිට තමන්ට දිනකට ඩීසල් ටොන් 1,500 බැගින් අවශ්‍ය යැයි ජනවාරි 11දා ඉල්ලා සිටියත් එවැනි හදිසි ඉන්ධන ලබාදීමක් සිදු කිරීම සදහා අවශ්‍ය ඩීසල් තොග තෙල් සංස්ථාව සතුව නොපැවතිය බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.
ඒ මහතා මේ බව සදහන්කර සිටියේ (19) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
තෙල් සංස්ථාව තෙල් නොදෙන නිසා විදුලිය කපා දැමීමට සිදුවන බවට විදුලිබල මණ්ඩලය චෝදනා මුඛයෙන් පැවසුවා. 60% ට වැඩි ප්‍රමාණයක් දෙසැම්බර් මාසය වන තුරුම විදුලිය නිපදවූයේ ජල විදුලියෙන්. එය 38% දක්වා පහත වැටීමෙන් ඇතිවූ අර්බූදය. ඒ අය අපෙන් තෙල් ඉල්ලීමක් කලේ ජනවාරි මාසයේ 11 වෙනිදා ජනවාරි මාසයේ 13 වෙනිදා සිට තෙල් ලබාදෙන්න කියලා. මීට කලින් ඒ අය දැනුම් දීල තිබුනේ ජනවාරි මාසය අග වන තුරු ඒ අයට තෙල් අවශ්‍ය නෑ කියලයි. අපි ගාව තොග තිබුනෙත් නෑ. තොගවල හිර කරන්න තරම් අපි ගාව විදේශ විනිමය නෑ. විදේශ විනිමය අතිශයින්ම සීමිතයි. ඇත්තෙන්ම අපි තෙල් දෙන්නේ නෑ නොවේ දෙන්න තෙල් නෑ. ජනවාරි 13දා සිට තමන්ට දවසකට ඩීසල් ටොන් 1,500 බැගින් අවශ්‍ය යැයි කියලා විදුලි බල මණ්ඩලය අපට කිව්වේ ජනවාරි 11දා. අපට ඉල්ලපු ගමන් ඩීසල් දෙන්න ඩීසල් ලිඳක් නෑ. ඩීසල් තොග ඇත්තෙත් නෑ. ආනයනය කරගන්න ඇති පදමට විදේශ විනිමය ඇත්තේ නැහැ.
ප්‍රවාහනයට තිබෙන ඩීසල් තොග විදුලි නිෂ්පාදනයට දුන්නොත් ප්‍රවාහනය ඇන හිටී රටම අකර්මන්‍ය වෙනවා. ඒ තත්ත්වය පැය කීපයකට විදුලිය කැපීමට වඩා භයානකයි. මොහොතකට හිතන්න රෝගියෙක් අසනිප උනහම රෝහලට ගෙනියන්න බැරි නම් වෛද්‍යවරයාට නිවසේ සිට රෝහලට යන්න බැරි නම් කලබලයක් ඇති වන තැනකට පොලිසියට යන්න බැරිනම් රට අරාජික වෙන්නෙ නැද්ද ? විදුලිබල මණ්ඩලයට විදුලි සැපයුම පාලනය කරන්නට පුළුවන්. පැය 24ම දෙනවා ද පැය 24ම කපනවා ද පැයක් කපනවා ද දෙකක් කපනවා ද වශයෙන් විදුලිය සැපයීම පාලනය කරන්න පුළුවන්. නමුත් ප්‍රවාහනයට ඉන්ධන සැපයීමේ දී අතරමැදි තත්ව නෑ. එක්කෝ ඉන්ධන ඇත. නැතිනම් ඉන්ධන නැත. එතැන පැයක් විදුලිය කපනවා වගේ අතරමැදි තත්වයක් නෑ. ඒ අනුව ප්‍රවාහනයට ඉන්ධන සැපයීම විදුලියට ඉන්ධන සැපයීමටම වඩා තීරණාත්මකයි. ඒ නිසා අපට හැමවෙලේම ප්‍රවාහනයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබාදීම ද සිදු වෙනවා. ඒ නිසා තමයි ප්‍රවාහනයට තියෙන සීමිත තොග අපට ලබා දීමට හැකියාවක් නොමැති කියලා විදුලිබල මණ්ඩලයට දැනුම් දුන්නේ.
ඩොලර් හිඟය නිසා මුහුද මැද දවස් 9ක් තිබුණු ඩීසල් තොගයකට මුදල් ගෙවන්න ඊයේ අපට පුළුවන් වුණා. අවශ්‍ය ඩොලර් සොයා ගන්න විදුලි බල ඇමතිතුමාත් මහන්සි වුණා. ඒ නිසා ගොඩ බාන ඩීසල් ටොන් 37,000න් ටොන් 10,000ක් විදුලි බල මණ්ඩලයට ලබා දෙන මෙන් මම ඛනිජතෙල් සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ ප්‍රමාණය දවස් අටකට ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව අපි දවසකට දැවිතෙල් ටොන් 2,200 බැගින් විදුලි බල මණ්ඩලයට දෙනවා. ඒ වගේම අත්සන් කර තිබෙන ගිවිසුමක් අනුව දවසකට ඩීසල් ටොන් 700 බැගින් ෆුජිට්සු පෞද්ගලික විදුලි බලාගාරයට දෙනවා.
විදුලි බල මණ්ඩලයට මට ලබා දෙන්න තිබෙන උපදෙසක් තිබෙනවා. දැන් පැය විසි හතරම විදුලිය ලබා දීලා සීමිත විදේශ විනිමය ඉවර කර ගත්තොත් පෙබරවාරි අග වන විට තෙල් ගේන්න අපිට විදේශ විනිමය සපයාගන්න බැරිවුනොත් රටම අඳුරට යෑමේ අවදානමක් තිබෙනවා. දැන් දවසට විනාඩි 90ක් විදුලිය කපලා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගත්තොත් වැසි සමය එන තුරුම දවසට විනාඩි 90ක් පමණක් කපන්න පුළුවන්. මේ ගැන සිතා බලන්න කියා මම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලනවා. එසේ විදුලිය කැපීම ජනතාවට අමාරු වුණත් ඔරොත්තු දෙන්න පුළුවන් මට්ටමේ දෙයක් පැය 24 ම හොඳට විදුලිය තිබිලා එකපාරටම පැය තුනක වගේ විදුලි අහිමි වීමකට මුහුණ දෙනවාට වඩා.
තෙල් ගැන පච කියන තෙල් පචයෙක් ඉන්නවානෙ. නම නොකීවත් කවුරුත් දන්නවා. ලංකාවටත් එකයි. ලෝකයටත් එකයි. එයා කියනවා, රටේ තෙල් හිඟයක අවදානමක් තිබෙන්නේ ඇමතිවරයා නිසි කලට තෙල් ආනයනය නොකල නිසාලු. ඒ කටින්ම ඊ ලඟට කියනවා, තෙල් නැව් ඇවිත් මුහුද මැද තිබෙනවා. ඩොලර් නැති නිසා තෙල් ගොඩ බාන්න විධියක් නැතිලු. තෙල් ආනයනය කරන්නේ තෙල් සංස්ථාව මිස ඇමතිවරයා නොවේ. ඒ අය නිසි කලට ඇණවුම් කරලා නිසි කලට නැව් එනවා. දවස් ගණන් වරායේ රස්තියාදු වන විටත් ණයවර ලිපි විවෘත කරන්නේ නැතුව මුදල් ගෙවන්නේ නැතුව අපට අවශ්‍ය ඉන්ධන ගෙන්නා ගන්න සංස්ථාව සමත් වී තිබෙනවා. නමුත් රටක් ලෙස අපි මුහුණ දෙන විදේශ විනිමය අර්බූදය හේතුවෙන් තමයි ඉන්ධන අර්බූදයක අවදානමක් තිබෙන්නේ. ශ්‍රී ලංකාව මේ මොහොතේ විදේශ විනිමය සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ පා ඉන්නවා කියන එක හැමෝම දන්න කාරණයක්.
834 Views
Comments