හොර වෙදුන් දෙදෙනෙක් ගාල්ලෙන් හා පොල්පිතිගමින් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

හොර වෙදුන් දෙදෙනෙක් ගාල්ලෙන් හා පොල්පිතිගමින් අල්ලයි

හොර වෙදුන් දෙදෙනෙක් ගාල්ලෙන් හා පොල්පිතිගමින් අල්ලයි

ගාල්ල, සරෙන්තු කඩේ ප්‍රදේශයේ ප්‍රතිකාර සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 74 හැවිරිදි පුද්ගලයෙක් වසර දහයකට අධික කාලයක් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

 

 

සැකකරු කලක් ඖෂධ ශාලාවක ඖෂධවේදියෙකු ලෙස රැකියාව කර ඇති අතර ඔහුට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කිසිදු සුදුසුකමක් නැති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

 

සැකකරු ළඟ තිබූ සියලු ම ඖෂධමය ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් භාරයට ගෙන සැකකරු බැඳුම්කරයක් මත මුදා හැර ඇති අතර සැප්තැම්බර් මස 7 වන දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිත ය.

 

 

මේ අතර, පොල්පිතිගම, හිරියාල, අඹගස්වැව ප්‍රදේශයේ වසර 44ක සිට වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යමින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව තලමල්ගම පොලිසිය පැවසීය.

 

 

සැකකරු අවුරුදු 74ක් පමණ වයසැති පුද්ගලයෙකු බවත් වෛද්‍ය නිර්දේශ නොමැතිව මත්පෙති බෙදා හරින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව තලමල්ගම පොලිසිය සඳහන් කළේ ය.

 

 

එම ස්ථානයේ තිබී ගබ්සා කිරීමේ උපකරණ හා එවැනි රෝගීන්ට දෙන ඖෂධ වර්ග පවා සොයා ගැනීම නිසා මෙම ස්ථානයේ නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති ද යන්න සැක සහිත බව වැටලීම කළ පොල්පිතිගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ජී. එන්.ඩී. ගමගේ සඳහන් කළේ ය.

 

 

මෙහි තිබී ලිංගික ආස්වාදය වැඩි කිරීම සඳහා ලබා දෙන පෙති වර්ග, මත් පෙති වර්ග, ඇදුම, පිළිකා, දියවැඩියාව වැනි රෝග සඳහා ලබා දෙන ලක්ෂ දෙකකට වැඩි ඖෂධ තොගයක් සොයා ගත් බවත්, එවැනි ඖෂධ අලෙවි කිරීමට හෝ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට ඇති සුදුසුකම ඔප්පු කර පෙන්වීමට නොහැකි බව වූ ත් වෛද්‍ය ගමගේ වැඩිදුරට ත් සඳහන් කළේ ය.

views

290 Views

Comments

arrow-up