“අයියේ, ශාන්ත මගේ... මාව ඉස්පිරිතාලෙට අරන් යන්න” - සිඟිත්තා ඇකයේ හොවාගෙන පාරේ ගිය චතුරිකාගේ ජීවිතය බිළිගත් පාපතරයා කල අහස පොළව නුහුළන අපරාධයේ තතු එළියට

අත දරුවෙකු ඇකයේ හොවාගෙන බඩු මල්ලක් අතින් ගෙන පා ගමනින්ම තනිපංගලමේ ගිය තරුණ විවාහක කතක් පොල්පිතිගම ප්‍රදේශයේදී මහ දවල් අමු අමුවේ ගෙල කපා ඝාතනය කර තිබුණී. ඒ ඉකුත් ජුලි මස 04 වැනිදාය.
කාමාතුරයෙකු තම ආශාව සන්සිඳුවා ගන්නට අත දරුවා පැත්තකට විසිකර දමා කත කැළෑ පෙදෙසකට ඇදගෙන යන අතරවාරයේ ඊට එරෙහි වීම නිසා ඉලක්කය වැරදුණු නරුමයා මේ කතගේ ගෙල කපා දැමීමෙන් පසු ඇය ජීවිතක්ෂයට පත් වුවාය.
මේ සිද්ධියෙන් පොල්පිතිගම ප්රදේශවාසිහු කම්පනයට පත්වුහ.
මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූවේ පොල්පිතිගම ඉරුදෙණියාය, තොළඹුඇළ ප්‍රදේශයේ පදිංවිව සිටි 35 වැනි වියේ පසු වු චතුරිකා ප්‍රසාදනී විජේසිංහ නැමැති තරුණ මවකි.
ඊට පෙර දින රාත්රියේදී අවුරුදු එකහමාරක් වයසැති සිය පුතුට සහලවලා උණ වැලඳීම හේතුවෙන් දරුවාට බෙහෙත් අරන් දීම සඳහා පොල්පිතිගම මුලික රෝහල වෙතට යාමට පසු දින උදේම ඇය සුදානම් වුවාය.
නිවසේ සිට බස්රථය පිටත්වෙන ඉරුදෙණියාය මංසන්ධියට කිලෝමීටරයක දුරක් යා යුතුව ඇත.
උදේ 6.30ට බසය පිටත්වන බැවින් බිරිය සහ දරුවා කල්වේලා ඇතිවම පාපැදියේ වාඩි කරවාගත් සැමියා එහි ගියේ යතුරුපැදියෙන් යාමට අවැසි ඉන්ධන නොතිබුණු නිසාය.
බසය පිටත්වෙන තුරු බලා සිටි සැමියා ඉන් අනතුරුව ඔහු සේවය කරන වයඹඇළ ව්‍යාපෘතියේ වැඩට ගියේය.
රෝහලට ගිය අම්මා සහ මල්ලි එනතුරු අවුරුදු 07ක් වයසැති වැඩිමල් දරුවා කිරි අම්මා සමඟින් මඟ බලා සිටියේය.
ඒ අම්මා එන විට ගෙනෙනවායි කියු ‘ටොපි චොකලට්වල‘ රස බැලීමේ ආශාවට ය.
පොල්පිතිගම රෝහලට ගොස් දරුවාට බෙහෙත් ගත් චතුරිකා බැංකුවට ගොස් තම ගිණුමෙන් මුදල් ගෙන ගෙදරට වුවමනා බඩුත් රැගෙන පොල්පිතිගම නගරයේ රැඳී සිටියේ ගමට යා යුතු බසයක් නැවත එන තුරුයි.
පෙරවරු 11.45ට පමණ පැමිණි ලංගම බසයකට ගොඩවු ඇය දහවල් 12.10 පමණ වනවිට ඉරුදෙණියායේ ගමනාන්තයේ අවසානයෙන් බැස ගත්තාය.
බසයෙන් බැසගත් ඇය සේවයේ නිරතව සිටි සිය සැමියා වු චින්තක සඳරුවන් කුමාර අමතා තමන් පැමිණි බව දුරකථනයෙන් කීවාය.
වෙනදත් එලෙස පැමිණෙන ඇය නිවසට ගෙදරට ඇරලීම සඳහා සැමියා මෝටර් බයිසිකලයෙන් එන්නේය.
එහෙත් ඉන්ධන නැති නිසා පාපැදියෙන් වැඩට ගිය සැමියාට තමන් නිවසට ඇරලා ආපසු වැඩ කරන තැනට පාපැදියෙන් යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවද චතුරිකා දැන සිටින්නට ඇත.
බිරිය සහ පුතු නිවසට කැඳවාගෙන යාමට තමා නොඑන බව බිරියට කි සැමියා “ඔයා පරිස්සමෙන් ගෙදර යන්න, මං වැඩ“ යනුවෙන් පැවසීය.
ඊට අවනත වු චතුරිකා බසයෙන් බැස දරුවා උකුලට වඩාගෙන ගෙනා බඩු මල්ලද අත දරාගෙන පා ගමනින් නිවස බලා පිටත් වුවාය.
එසේ යන අතරවාරයේ ක්ඩයක් ඉදිරිපිට රැදී සිටි ‘ශාන්ත අයියා‘ ඇයට හමු විය.
දන්නා හඳුනන ඔහු කෙරෙහි කිසිම සැකයක් නැතිව සුපුරුදු ලෙසට සිනා සෙමින් ඕ එතැන පසු කළාය.
ශාන්තද චතුරිකා පසුපස ආවේය. චතුරිකා ඒ බවක් දැන සිටියේ නැත. ඒ පසුපසින් පැමිණි මඟ ඇය පසුකර ගොස් ඔහුගේ ‘නවාතැන‘ ඉදිරියේ නැවතුණි.
නිමේෂයකින් සිදු වෙන්නට යන දේ ගැන චතුරිකාට නිනව්වක් නැති විය.
ඒ ශාන්ත අයියා ඇය කලින් සිටම දැන සිටි ගමේ අයකු නිසාය.
උණ සහ අව් රස්මිය නිසා හෙම්බත් වි සිටින දරු පැටියා ඇගේ උරමත හිස තබා පසුවන්නේ තද නින්දේ ය.
සිය නිවසේ නැවතුණු ශාන්ත කැළෑ පෙදෙසකින් දුවගෙන විත් චතුරිකා එන මඟ රැක සිටියේය. මතට ලොල් වී පදම ඉක්මවා සිටි ශාන්ත චතුරිකා ග්‍රහණය කරගෙන ඇගේ අතින් ඇදගෙන කැලෑවට යන්නට තැත් කරන්නේ ඈ කෑ ගසද්දීය.
ඇය ඊට එරෙහි වීම නිසා දෙදෙනා අතර සිදුවුයේ පොර බැදීමකි. නින්දේ පසු වු පොඩ්ඩා උකුලෙන් ඉවතට වැටී මර බියෙන් යුතුව ලතෝනි දුන්නේය. එහෙත් ඒ විලාපය අහන්නට කිසිවකු ඒ අහල පහල සිටියේ නැත.
චතුරිකාගෙන් තම ආශාව බලහත්කාරයෙන් ඉටු කරගන්නට මේ පාපතරයා ගන්නට දැරූ වෑයම ව්‍යර්ථ වු තැන ඔහු අත තිබු තියුණු ආයුධයකින් ඇගේ ගෙල කපා දැම්මේය.
ගෙල කපා ඇතත් තම ආශාව සන්සිදුවා ගන්නට නොහැකි තැන ඔහු එතැනින් පලා ගියේය. කැපුම් තුවාලයෙන් දැනෙන වේදනාවට වඩා දස මස කුස හොවා ජනිත කළ දරු දුක ඇයට තදින් දැනුණි.
ගෙල පෙදෙසින් ලේ ගලා එද්දි නොසැලි දුවගෙන ගොස් පුතු තුරුලට ගෙන වැටී තිබුණු බඩු මල්ලත් රැගෙන කැළෑසීමාවෙන් ඕ පාරට පැන ගත්තාය. එතැන් සිට නිවසට යාමට තවත් ඇත්තේ මීටර් 500 ක පමණ දුරකි.
සිතට දිරිය ගෙන යාමට තැත් කලත් ගලා යන රුධිරය හමුවේ ගතට සවිය නැත. ඇය දරුවා තබා බිම වැටුණාය. ‘හේමන්ත අයියා‘ නමැති පුද්ගලයකු එතැනට එන්නේ ඒ මොහොතේදීය.
‘අයියේ‘ ‘ශාන්ත‘ මගේ බෙල්ල කැපුවා. මාව ඉස්පිරිතාලෙට අරන් යන්න”
ඇගේ බෙල්ලෙන් ගලනා රතුවන් රුධිරය දරු පැටියාගේ හිසේ සිට ගත පුරා තැවරී තිබුණි. මේ දුටු හේමන්ත තුෂ්ණිම්භූත විය.
කෙසේ හෝ හේමන්ත සිද්ධිය මේ ගමටම දැනුම් දුන්නේය. ඒ පණිවිඩය චතුරිකාගේ සැමියාගේ අයියා චමින්දට දැන ගන්නට වැඩි වේලාවක් ගත වුවේ නැත. වහාම නෑනා බේරා ගැනීමට ඔහු තම ත්‍රීරෝද රථය ගෙන එතැනට ගියේය. නමුත් පණිවිඩය දුන් හේමන්ත එතැන නැත. ඔහු එතැනින් ඉවත්ව ගොස්ය. ඒ නීතියේ හමුවේ කට උත්තර දෙන්නට ඇති බිය නිසා විය හැකිය.
තනියම අසාධ්‍ය තත්වයේ සිටි ‘නෑනා‘ තම ත්‍රීරෝද රථයට උස්සා දැමුවේය. ඇය කතා නැත. එතැනට පැමිණි අවට අයට තැති ගැස්මෙන් හඬනා පුතු බාර දී ඔහු නෑනා රැගෙන කිලෝ මීටර් 12 ක පමණ දුරකින් ඇති පොල්පිතිගම රෝහලට යාමට පිටත් විය.
වහා එතැනට පැමිණි වෛද්‍යවරයා චතුරිකා පරික්ෂා කළේය. ඔහු දිගු සුසුමක් හෙළීය. සිදුව ඇති දේ සියල්ලන්ටම පසක් විය.
අනේ මගේ චතුරි, ‘ඔයා කොයි‘ කියලා පුතාලා දෙන්නා අහනකොට මං කොහොමද කටක් ඇරලා කියන්නේ අම්මා බෙල්ල කපලා මැරුවා කියලා.
කොහොමද ඔයාගේ අම්මා තාත්තලාටත් මං මේක කියන්නේ. බයික් එකට තෙල් තිබුණා නම් මං ඔයාට පයින් යන්න දෙන්නේ නෑනේ. චතුරිකාගේ දේහය බදාගෙන නගනා විලාපය රෝහල් බිමේ අස්සක් මුල්ලක් නෑර දෝංකාර දුන්නේය.
පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්රබුද්ධ කුලතුංගගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක රෝහණ නන්දසිරි මියගිය චතුරිකා අවසන් වරට කතා කළ හේමන්ත සහ පවුලේ අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.
පසුව පශ්චාත් මරණ පරික්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන විසින් සිදු කරන ලදි. තියුණු ආයුධයකින් ගෙල කැපීමෙන් වහනය වු අධික රුධිරය සහ කම්පනයෙන් චතුරිකාගේ මරණය සිදු වී ඇති බවට නිගමනය කැරිණි.
චතුරිකාගේ ඝාතකයා වන සැකකාර ශාන්ත ගුණරත්නට වයස අවරුදු 40ක් පමණ යැයි සඳහන්ය.
මොහු කුලි වැඩකට ගොස් උපයන මුදල කසිප්පු බීමටම වැය කරන අතර මස් මාළුවලට තද ගිජුකමක් දක්වන අයෙකි.
රක්ෂිතයේ ගැවසෙන ඌරන්, මුවන් ඇතුළු සතුන් අල්ලා දස වධ දී මරාගෙන කන්නෙකු ලෙසටද ඔහු ගමේ ප්‍රසිද්ධියට පත් තැනැත්තෙකි. චතුරිකා ගේ ගෙල කැපු දා උදෙන්ම ගමේ කසිප්පු තිප්පොළෙන් කසිප්පු මිලදී ගෙන පමණ ඉක්මවා සිටියදී මහමඟ ගමන් ගත් ඇය පසුපස යාමට යාබද කඩේකින් ඌරු මස් පිගානක් ණයට ඉල්ලා ගත්තේය.
එහි මුදල පසුව ගෙවන බවට පවසා ගත් මස් බදුන කකා යමින් මොහු මෙම අපරාධය සිදුකර ඇතැයි ගම්වාසින් කියයි.
අවසානයේ දෙදරු තරුණ මවකට දිවි අහිමි කළ ශාන්ත සතුන්ගේ ගෙල හිර කරන්නට ඇටවීමට රැගෙන ගොස් මදු හැදු කේබලයක් තම බෙල්ලට දමා ගෙල වැලලා ගැනීමෙන් සිය දිවි නසා ගත්තේය. ශාන්තගේ බවට සැක කරන මෘත දේහයක කොටස් ගසක එල්ලෙමින් සහ එහි කොටසක් බිම වැටී තැන තැන විසිරී තිබියදී ගම්වැසියෙකු දැක ඒ බව 06 වැනිදා පොල්පිතිගම පොලීසියට දැනුම්දී තිබුණි.
ඉකුත් ජුලි මස 04 වැනිදා ඔහු සිදුකළ ඝාතනයෙන් මසකට පසුව සැකකරුගේ බවට අනුමාන කරන සිරුරේ කොටස් මෙලෙස හමු වීය.
මොහුගේ සිරුරේ කොටස් මෙදින හමු වී ඇතත් චතුරිකාගේ ඝාතනය සිදු වු ආසන්නම දිනයක මෙම සිය දිවි නසා ගැනීමත් සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.
ඔහු පදිංචිව සිටි නිවස පිටුපස හා චතුරිකා ගෙල කපා දැමු සිමාවේ සිට මීටර් 400ක් පමණ දුරින් කැළෑ පෙදෙසක තිබී හඳුනාගත නොහැකි ලෙසට දිය වී ගොස් ඇති සිරුරේ කොටස් හමු වී තිබිණි.
ඔහු ඇඳ සිටි සරම සහ ටී ෂර්ට් එක පමණක් බාහිර වශයෙන් හඳුනා ගත හැකි ලෙසට ඇතැයි පොලීසිය පෙන්වා දෙයි.
517 Views
Comments