තරුණයකු පැහැරගෙන ගොස් පහරදී නිදහස් කිරීමට සල්ලි ඉල්ලූ පොලිසියේ තිදෙනෙක් අත්අඩංගුවට

මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකුට මාංචු දමා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් පහරදී ඔහු සතුව තිබුණු රුපියල් 6500ක මුදලක් කොල්ලකෑ එරාවුර් පොලිසියේ නිලධාරින් තිදෙනෙක් මඩකළපුව කොට්ඨාස විමර්ශනය අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (10) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකුය. මේ නිලධාරීන් තිදෙනා පසුගිය 09 වැනිදා පොලිස් ත්‍රිරෝද රථයෙන් එරාවුර් නගරයේ ජංගම ආරක්ෂක රාජකාර් සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා විසින් යොදවා සිට ඇත.
මෙදින රාත්‍රී කාලයේදී එරාවුර් නගර සභාව අසලින් ගමන් කරමින් සිටි තරුණයකු අසල ත්‍රිරෝද රථය නතර කළ පොලිස් නිලධාරීන් ඒ තරුණයාගේ අනන්‍යතාව පරීක්ෂා කර තිබේ. ඒ අවස්ථාව වන විට තරුණයා සතුව ජාතික හැඳුනුම්පත තිබී නැත.
තරුණයා එරාවුර් මීච්චිනගර්හි පදිංචි 23 හැවිරිදි වියේ පසුවන්නෙකි. ජාතික හැඳුනුම්පත නැති වූවත් ඔහු සිය අනන්‍යතාව පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත. එයින් සෑහීමකට පත් නොවූ නිලධාරීන් මේ තරුණයාට මාංචු දමා ඇත.
පසුව ත්‍රිරෝද රථයේ දමාගෙන පහර දෙමින් පාළු ස්ථානයකට රැගෙන ගොස් මුදා හැරීමට නම් රුපියල් 20,000ක් හෝ 15,000ක් දෙන ලෙස තර්ජනය කර ඇත. මුදල් නොදෙන්නේ නම් අයිස් හෝ මත්කුඩු දමා හිරේට යවන බවද මේ නිලධාරීන් ඔහුට පවසා ඇත.
ඒ වන විට මේ තරුණයා ළඟ තිබී ඇත්තේ රුපියල් 6500ක මුදලක් පමණි. එම මුදල ලබාගත් පොලිස් නිලධාරීන් පසුව මේ තරුණයා මුදාහැර ඇත.
මේ ගැන නිවසට ගොස් තරුණයා පියාට පවසා තිබේ. ඒ ගැන විමසීමට පියා පෙරේදා (10) උදෑසන තරුණයාව ද රැගෙන එරාවුර් පොලිස් ස්ථානයට ගොස් ඇති අතර, එහිදී අදාළ නිලධා- ඊන්ගෙන් කරුණු විමසීමේදී තරුණයාගෙන් ගත් මුදල්වලින් රුපියල් 1500ක් ලබාගත් පියා තරුණයා ද රැගෙන මඩකළපුව පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පොලිස් අධිකාරීවරයා හමුවේ සියල්ල පවසා තිබේ.
එහිදී මේ තරුණයාගේ පැමිණිල්ල කොට්ඨාස විමර්ශන ඒකකය විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
368 Views
Comments