ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

ෆෙන්ගල් සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී. 280ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (30) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වනු ඇත. 

 

ඒ අනුව දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැවැසීය.

 

කෙසේ නමුත් උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුළුන් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකිය.

 

විශේෂයෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති වේ.

 

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. 

 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 50-55 අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

views

251 Views

Comments

arrow-up